ශිෂ්‍යත්වය ලියන පොඩිත්තන්ට හදිසියේම පණිවිඩයක් - විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්..!
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළබෙන 15 වැනි ඉරු දින පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
අද (13) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මේ වෙනකොට විභාගය පැවැත්වීම සඳහා සියල්ල සූදානම් බවය.
එමෙන්ම ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රශ්න පත්‍ර ලංකාව පුරා පිහිටි සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට මේ වනවිට නිකුත් කරමින් පවතින බවද හෙතෙම පැවසීය.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 323,879ක් සුදුසුකම් ලබා සිටින අතර, ඔවුන් දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849කදී විභාගයට පෙනී සිටීමට නියමිතය.
තවද විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට විභාග මධ්‍යස්ථාන 7කදී සහ මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා දරුවන්ට එහි සිට විභාගයට මුහුණදීම සඳහා ද විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.
කොටස් දෙකකින් යුත් ශිෂ්‍යත්ව විභාගයේ පළමුව දෙවැනි පත්‍රය පැවැත්වෙන අතර, එය පෙ.ව. 9.30 සිට 10.45 දක්වා පැවැත්වේ. ඉන් අනතුරුව පෙ.ව. 11.15ට පැයක කාලයක් පැවැත්වෙන පළමු පත්‍රය ආරම්භ වේ.