සියල්ලෝම බලා සිටි අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (24) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.
පසුගිය බදාදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියේදී රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව පසුගිය 21 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබිණි.
පාර්ලිමේන්තු කටයුතු සංවිධානය කර ඇති ආකාරයට අනුව, අද දින උදෑසන 9.30 සිට 10 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහාත්, පෙරවරු 10 සිට 11 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත් වෙන්කර ඇත.
එමෙන්ම පෙරවරු 11 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27/2 යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන් අනතුරුව උදෑසන 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර, මේ හේතුවෙන් අද දින විවාදයට ගැනීමට තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරි දිනයකදී ගැනීමට තීරණය කර ඇත.