බදියුදීන්ගේ නිවසේ දැරිය මිය යාමට වගකිව යුත්තේ ආණ්ඩුවයි….! – NGO 31ක් නිවේදනයක් කරයි….

By Wasantha Jul 26, 2021 03:03 AM GMT
Wasantha

Wasantha

Report

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ පිළිස්සුම් තුවාල රෝහල්ගතව සිටිය දී මරුමුවට පත් දැරිවියගේ මරණය මෙරට ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ආණ්ඩුව අසමත් වීමේ අඳුරු පැතිකඩක් නිරාවරණය කරන බව කාන්තා, මානව හිමිකම්, බහුජන හා රාජ්‍ය නොවන සංවිධාන සමූහයක් පෙන්වා දෙයි.

එම දැරිවිය අධ්‍යාපනය අත්හැර මෙහෙකාර සේවයට යොමු කිරීමේ වගකීම දැරිය යුත්තේ ද ආණ්ඩුව බව සඳහන් කරන සංවිධාන තිස් එකක් නිකුත් කළ නිවේදනය මගින් චෝදනා කරයි.

“ළමා පරිවාස නිලධාරී, ළමා ආරක්ෂණ නිලධාරි සහ කාන්තා සංවර්ධන නිලධාරී ආදී වශයෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ම අනුයුක්ත නිලධාරීන් සිටින අතර ඔවුන්ගේ කාර්ය වන්නේ මෙවන් ළමයින් අධ්‍යාපනය ලබන බවටත්, වයස අවුරුදු 16ට පෙර පාසැල් හැර නොයන බවටත් වග බලා ගැනීමයි.

මෙවැනි දරුවන් ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ අධ්‍යාපනයට සහය වීම මෙන්ම ප්‍රජාව තුළ වැඩ කිරීම සඳහා මෙම නිලධාරීන්ට බලය පවරා තිබේ.” දශක ගණනාවක් පුරා සිදුවන කඳුරට දරුවන් බලහත්කාරී ලෙස මෙහෙකාර සේවයට යොදා ගැනීම අලුත් දෙයක් නොවුණ ද, එම කෘරත්වය හෙළිදරව් වන්නේ කලාතුරකින් බවත්, පෙන්වා දෙන එම සංවිධාන එකතුව, බාල වයස්කාර දරුවන් ගෘහ සේවිකාවන් ලෙස විකිණීම පමණක් නොව මෙම වසංගත සමය තුළ ලිංගික අපයෝජනයට ලක්වීම හා අමානුෂික ලෙස සැලකීම ද ඉහළ නැගීමේ අවදානමක් දක්නට ලැබෙන බව ද එම සංවිධාන පවසයි.