සෑම වගා බිමකටම හමුදා නිලධාරීයෙක්..! රට පුරාම යුද හමුදාව කරන්න යන වැඩේ..

Shavendra Silva agriculture army officer paddy field
By Sewvandhi Feb 12, 2022 05:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉදිරි යල කන්නයේදී ( මාර්තු- සැප්තැම්බර් ) ගොවීන්ට උපරිම ලෙස සහයවීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියකු බැගින් යොමු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

මෙරට කෘෂිකර්මාන්තය ඉහළම තැනකට එසවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් මත තමා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පැවසූ යුද හමුදාපතිවරයා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු සැලසුම් සකසා අවසන් කර ඇතැයිද සඳහන් කළේය. 

 කෘෂිකර්මයට සම්බන්ධ ආයතන සහ නිලධාරින් සමඟ සම්බන්ධවී (සම්බන්ධීකරණය ) ගොවීන්ට පොහොර සැපයීමේ සිට අස්වැන්න ලබාගැනීම දක්වාවූ සියලු කටයුතු සඳහා විවිධාකාරයට උදව් කිරිම මෙම හමුදා නිලධාරීන්ට පැවරෙන වගකීම බවද ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.

කොවිඩ් එන්නත්කරණයේදී උපරිම ලෙස දායකත්වය දැක්වූ ආකාරයටම රටේ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම සඳහාද ඉහළම දායකත්වය දැක්වීමට යුද හමුදාව සූදානම් බවත් ජනාධිපතිවරයා ඒ සඳහා තමාට අවශ්‍ය උපදෙස් සියල්ල ලබාදී ඇති බවත් යුදහමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

කෘෂි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා විවිධ පාර්ශ්ව ඉදිරිපත් කර ඇති යෝජනාද මෙහිදී සැලකිල්ලට ගන්නා බව පැවසූ ඒ මහතා උතුරු නැගෙනහිර ඇතුළු තෝරාගත් බිම් ප්‍රදේශවල යුදහමුදා සාමාජිකයන් යොදවා විවිධ වගා ව්‍යාපෘති දැනටමත් අරඹා ඇතැයිද පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now