''නීති පට්ටම බල්ලාට දාලා බල්ලන් බලන රැකියාවට ගිය UK තරුණිය'' - දැන් උපයන මුදල ඇහුවොත් පුදුම හිතෙයි
නීතිඥ වෘත්තියේ තිබූ අධික වැඩ පීඩනය හේතුවෙන් සිය වෘත්තීය ජීවිතය වෙනස් කිරීමට තීරණය කළ එක්සත් රාජධානියේ 30 හැවිරිදි කාන්තාවක් මේ වන විට සුනඛයන් ඇවිද්දවීමේ ව්‍යාපාරයක නිරත වෙමින් දිනකට රුපියල් 50,000කට ආසන්න මුදලක් උපයන බව වාර්තා වේ.
ලිස් ඊස්ට් නම් ඇය, වසර හතරක පමණ කාලයක් අපරාධ නීතිය සම්බන්ධයෙන් කටයුතු කළ නීති වෘත්තිකයෙකු ලෙස සේවය කර තිබේ. කෙසේ වෙතත්, එම රැකියාවේ පැවති දැඩි වැඩ පීඩනය සහ දිගු සේවා කාලය හේතුවෙන් තම ජීවිතයේ සතුට සහ මානසික සැනසීම අහිමි වෙමින් පවතින බව ඇයට අවබෝධ වී තිබේ.“අපරාධ ආරක්ෂණ නීතිය සම්බන්ධයෙන් වැඩ කිරීම ඉතා අපහසුයි. එය මට දැඩි ලෙස වෙහෙසකර වුණා.
කාර්යාල කටයුතුවල සිට අධිකරණයට යාම, බන්ධනාගාරවලට යාම සහ සේවාදායකයන් සමඟ සාකච්ඡා කිරීම දක්වා විවිධ කටයුතු මට සිදු වුණා,” යනුවෙන් ඇය සඳහන් කර තිබේ.
නීති වෘත්තියේ නිරතව සිටියදී ඇයට නිතරම දැනී ඇත්තේ තම වයසට වඩා වයස්ගත ජීවිතයක් ගත කරන බවයි. “මම මටම නිතරම හිතුවා, මේකද මගේ ජීවිතය කියලා. මේ විදිහට දිගටම ජීවත් වීම සුදුසු නැහැ කියලා මට හිතුණා,” ඇය පවසා තිබේ.
එමෙන්ම ලන්ඩන් නගරයේ වෘත්තීය ජීවිතය සමඟ ඇති සමාජීය පීඩනයද ඇයට ගැටලුවක් වී තිබේ. වැඩ අවසන් වී රාත්‍රී 9 හෝ 10 පමණ වනතුරු නිවසට පැමිණීමට නොහැකි වීම පවුල් ජීවිතයක් ගත කිරීමට සුදුසු තත්ත්වයක් නොවන බව ඇය පෙන්වා දී ඇත.
මේ අතර ඇගේ සැමියා ද සුනඛයන් ඇවිද්දවීම සහ ඔවුන් රැකබලා ගැනීමේ ව්‍යාපාරයක නිරතව සිටින අතර, ඔහු සිය රැකියාවට දැඩි කැමැත්තක් දක්වන බව ඇය සඳහන් කර තිබේ. ඒ අනුව නීති වෘත්තියෙන් ඉවත් වී සුනඛයන් රැකබලා ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඇය තීරණය කර තිබේ.
ආරම්භයේදී වියදම් පියවා ගැනීම සඳහා ඇය ප්‍රදේශයේ පබ් එකක රැකියාවක්ද සිදුකර ඇති අතර, ඒ අතරතුර සිය සුනඛ රැකවරණ සේවාව සඳහා ගනුදෙනුකරුවන් සොයාගෙන තිබේ.
වසරක් ඇතුළත ඇයගේ සේවාව සඳහා ස්ථිර ගනුදෙනුකරුවන් විශාල පිරිසක් එක්ව ඇති බව සඳහන්ය. මේ වන විට ඇය දිනකට කණ්ඩායම් වශයෙන් සුනඛයන් ඇවිද්දවීමේ වාර හතරක් පමණ සිදුකරන අතර, දිනකට සුනඛයන් 20ත් 30ත් අතර සංඛ්‍යාවක් රැකබලා ගනී.
එක් සුනඛයෙකු සඳහා පැයකට පවුම් 14ක් පමණ අය කරන ඇය, දිනකට පවුම් 300ත් 400ත් අතර ආදායමක් උපයන බව වාර්තා වේ. එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් 38,500ත් 51,400ත් අතර මුදලකි.
නීති වෘත්තිය අතහැර සුනඛයන් ඇවිද්දවීමේ රැකියාවකට යොමුවීම සම්බන්ධයෙන් ඇතැමුන් විවේචනය කළ බවද ඇය සඳහන් කර තිබේ. “නීතිය ඉගෙනගෙන අවුරුදු හයක් ගත කරලා දැන් සුනඛයන් ඇවිද්දවනවාද කියලා ඇතැමුන් මගෙන් අහනවා.
සමහරු මම ඒ අවුරුදු හය නාස්ති කළා කියලා හිතනවා. නමුත් ඒ කාලය තුළ මම ඉගෙනගත් බොහෝ දේ අදටත් මගේ දෛනික ජීවිතයට ප්‍රයෝජනවත් වෙනවා,” ඇය පවසා ඇත.
ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ සුනඛයන් ඇවිද්දවීමේ රැකියාව අඩු ආදායම් ලබන රැකියාවක් ලෙස බොහෝ දෙනා සිතුවද, මේ වන විට තමන් පෙර රැකියාවට වඩා වැඩි ආදායමක් ලබන බවයි. “මම කලින් ආයතනික රැකියාවෙන් උපයාගත් මුදලට වඩා දැන් මසකට පවුම් දහස් ගණනක් වැඩිපුර උපයනවා.ඒ වගේම මම කලින් වැඩ කළ කාලයෙන් අඩක් පමණයි දැන් වැඩ කරන්නේ,” ඇය සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම වෘත්තිය තෝරාගැනීමේදී මුදල් පමණක් ප්‍රධාන කරුණ කර නොගත යුතු බවද ඇය අවධාරණය කරයි. සුනඛයන්ට සැබෑ ආදරයක් තිබීමත්, එළිමහනේ කාලය ගත කිරීමට සහ සතුන් සමඟ වැඩ කිරීමට කැමැත්තක් තිබීමත් මෙවැනි වෘත්තියකට පිවිසීමට වැදගත් බව ඇය පෙන්වා දෙයි. “මම උදෑසන නැගිටලා රැකියාවට යන්න කැමතියි. මට හැමදාම මගේ උපාධිය තිබෙනවා. අවශ්‍ය වුණොත් යළිත් ඒ ක්ෂේත්‍රයට යන්න පුළුවන්. නමුත් මම කවදා හෝ එසේ කරයි කියලා හිතන්නේ නැහැ. මම දැන් කරන දේට මම ඉතාමත් ආදරෙයි,” යනුවෙන් ලිස් ඊස්ට් පවසා තිබේ.