අයහපත් කාලගුණය හමුවේ නාවික හමුදාවෙන් විශේෂ සූදානමක්- රැසක සහන කණ්ඩායම් යොදවයි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ආපදා සහන සේවා කටයුතු සඳහා නාවික හමුදාව සූදානමින් තබා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව පැවසුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානමින් තබා තිබෙන බවයි.
තවද අද (21) ආපදා සහන කණ්ඩායම් 14ක් දකුණු සහ බටහිර නාවික විධානය මගින් ස්ථාන ගත කර ඇති බවත් නාවික හමුදාව සඳහන් කර තිබේ .
ඒ අනුව දකුණු නාවික විධානය මඟින් තවලම ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක්, හිනිදුම ප්‍රදේශයේ කණ්ඩායමක්, මාපලගම ප්‍රදේශයේ කණ්ඩායමක් සහ නාගොඩ ප්‍රදේශයේ කණ්ඩායමක් වශයෙන් ආපදා සහන කණ්ඩායම් පහක් ස්ථානගත කර තිබේ .
තවද බටහිර නාවික විධානය මඟින් නාවලපිටිය ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් , යටියන්තොට ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක්, සීතාවක ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් සහ රත්නපුර ප්‍රදේශයේ කණ්ඩායම් තුනක් වශයෙන් ආපදා සහන කණ්ඩායම් නවයක් අවශ්‍යතාවය මත යෙදවීම සඳහා ස්ථානගත කර ඇති බවත් නාවික හමුදාව සඳහන් කර තිබේ.