කාලගුණයෙන් රතු නිවේදනයක් - මුහුද රළු වීමෙන් ධීවර යාත්‍රාවලට රතු අනතුරු ඇඟවීමක්
බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව වයඹ දිශාවට ගමන් කරමින් පවතින බවයි.
මෙම පද්ධතිය අද දිනයේදී පීඩන අවපාතයක් බවටත්, හෙට දිනයේදී ගැඹුරු පීඩන අවපාතයක් බවටත් වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එය සැප්තැම්බර් 23 වනදා පමණ වන විට උතුරු ආන්ද්‍රා ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළට ආසන්න බෙංගාල බොක්ක ප්‍රදේශයට ළඟා විය හැකි බවට ද අනාවැකි පළ කර තිබේ.
අදාළ මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 55ත් 65ත් අතර දක්වා විටින් විට ඉහළ යා හැකි අතර, එම හේතුවෙන් මුහුද රළු හෝ ඉතා රළු තත්ත්වයට පත්විය හැකිය.
එමෙන්ම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි සමඟ සුළං වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නැවත දැනුම් දෙනතුරු අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත්, මේ වන විට එම ප්‍රදේශවල රැඳී සිටින ධීවර යාත්‍රා ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යොමු කරන ලෙසත් බලධාරීන් දැනුම් දී තිබේ.