මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන සඳහා නවතම බද්දක්..සියලු විස්තර මෙන්න..

Tax Gazette Ramesh Pathirana Dalas Alahpperuma
By Sewvandhi Jan 04, 2022 03:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

2021 සහ 2022 අයවැය මගින් මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන මත විවිධ ව්‍යස්ථාපිත නීති යටතේ පනවන ලද බදු සහ අය බදු කිහිපයක් වෙනුවට විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට යෝජනා කර තිබේ.

ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයාට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට හැකිවන පරිදි මාර්ගගත ක්‍රමයට කළමනාකරණය කිරීම මෙහි අරමුණ වී ඇත.

මේ අතර ගුරු - විදුහල්පති සේවාවන් හි වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (04) එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

"එම චක්‍රලේඛය නිකුත් කිරීමත් සමග අදාළ වැටුප් පරිවර්තන කඩිනමින් සිදුකොට 2022 ජනවාරි මාසයේ සිට මෙම වැටුප් පරිවර්තන ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අමාත්‍ය මණ්ඩලය දැනටමත් දැනුම්දීලා තියෙනවා."

මේ අතර, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා වන ගිවිසුම එළැඹෙන සතියේදී අත්සන් කිරීමට බලාපොරොත්තුවන බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

"දැනට මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු, වාහන මත අය කරන බදු වර්ග ගණනාවක් තිබීම හේතුවෙන් බදු අයකරන්නන්ට වගේම බදු ගෙවන්නන්ටත් ගැටලුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ සියල්ල වෙනුවට අයවැයේ දී ඉදිරිපත් කළ යෝජනාව පදනම් කරගෙන විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයාට අවසරය හිමිවුණා. ඒ අනුව මේ පනත් කෙටුම්පත ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි."

ප්‍රශ්නය - ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් රජය ජනවාරි 06 වැනිදා ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් වෙනවද, ඒ වගේම ඉන්දියාව අපිට කියලා තියෙනවද හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා, ඒ නිසාද මේ සහන පැකේජයක් දීලා මැතිවරණයකට යන්න සූදානම් වෙනවද කියලා ප්‍රශ්න කරන්න කැමතියි.

අමාත්‍ය ගම්මන්පිල - "බොහෝවිට ඉදිරි සතිය ඇතුළත අපිට මේක අත්සන් කරන්න පුළුවන් වෙයි. පළාත් සභා මැතිවරණයක් ගැන කිසිම සාකච්ඡාවක් ආණ්ඩුව තුළ නෑ කියන එක ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා."

ප්‍රශ්න - පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඊයේ කියලා තිබුණා, ජනාධිපතිතුමා විවේචනය කරන්න බැහැ එහෙම වුණොත් අත්අඩංගුවට ගැනීමක් හෝ නීතිය ක්‍රියාත්මක කිරීමක් සම්බන්ධයෙන්

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම - "විවේචන සාධාරණ වෙන්න ඕනේ. විවේචනය තහනම් කිරීමක් හෝ විවේචනය වළක්වාලීමක් පිළිබඳ කිසිදු ආකාරයක ප්‍රකාශයක් ජනපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය හෝ කිසිම අවස්ථාවක ප්‍රකාශ කරලා නෑ. ඒක පොලිස් නිලධාරියෙක් කිව්වත් කවුරු කිව්වත් සත්‍යයෙන් තොර ක්‍රියාවක්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now