මේ ප්‍රදේශවලට නැවත් නායයෑම් අනතුරු යාවත්කාලීන කරයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (25) නිකුත් කර තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය වත්මන් තත්ත්වයට අනුව යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබේ.
නවතම නිවේදනයට අනුව දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක් සඳහා පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මෙම නියෝගය හෙට (27) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක වන බව එම සංවිධානය අවධාරණය කරයි.
ඒ අනුව, වඩාත් අවදානම් සහිත අදියර දෙක යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර, අයගම සහ ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීම් බලාත්මක කර තිබේ.
මේ අතර, අවදානම පිළිබඳ විමසිලිමත් විය යුතු අදියර එක යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල සහ බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද මෙම අවදානම පවතී.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, නිවිතිගල, පැල්මඩුල්ල, කිරිඇල්ල සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද මෙම පළමු අදියරේ නායයෑමේ අනතුරු ඇඟවීම් බලාත්මක වන බැවින්, කඳුකර හා බෑවුම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව නායයෑමේ පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දන්වා සිටියි.