ජාතියේ යශෝරාවය සදහටම නිහඬ වෙයි - ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනීය ලංකාවම හඬවමින් දිවිගමනට සමුදෙයි
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. ඒ අනුව ඇය මියයන විට 82 හැවිරිදි වියේ පසු විය.
පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බවයි.
1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළ අතර නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්රයට පිවිසීමට අවස්ථාව හිමි ගැනීමට සමත් විය.
කාව්‍ය තරගයකදී ඇයගේ හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් නන්දා මාලනී මහත්මිය කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ "ළමා මණ්ඩපය" වෙත හඳුන්වා දුන් අතර එහිදී ඇය ගායනා කළ "බුදු සාදු" ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ඇයගේ සංගීත දිවියට නව මංපෙතක් විවර කිරීමට සමත් විය.
අනතුරුව ලංකා ගුවන්විදුලියේ සරත් විමලවීර මහතාගේ මඟපෙන්වීම සහ අනුග්රහයද ඇයගේ සංගීත දිවිය ඉදිරියට ගෙන යාමට මහත් පිටුබලයක් සැපයීය. 1961 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වශයෙන් සැලකෙන "රන්මුතු දූව" චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් සිදුකළ අතර එම චිත්‍රපටයේ නාරද දිසාසේකර මහතා සමඟ යුග ගීයක් ගායනා කිරීමට නන්දා මාලනී මහත්මියට අවස්ථාව ලැබුණි.
ඒ අනුව ඇය සිය පළමු චිත්‍රපට ගීතය වශයෙන් "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කළ අතර, එය අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර පසුව පණ්ඩිත් අමරදේවයන්ගේ "මධුවන්ති" වැනි ජනප්‍රිය සංගීත වැඩසටහන් සඳහාද ඇය සහභාගී විය.
ඒ අනුව "සන්නාලියනේ" සහ "රන් දහදිය බින්දු බින්දු" ඇතුළු ගීත හරහා සිය ගායන හැකියාව තවදුරටත් ඇය ප්‍රකට කිරීමට සමත් විය.
එමෙන්ම නන්දා මාලනී මහත්මියගේ සංගීත දිවිය තුළ "පෙරදා මහ රෑ", "පහන් කන්ද", "සත්‍යයේ ගීතය", "පවන ගී එකතුව", "හේමන්තයේදී", "තාරුකා ඇස්", "පාවෙනා", "සින්දු හෝඩිය", "කිඳුරියකගේ විලාපය", "මඳු බඳුන්", "හඳහාමි", "සංඛ පද්ම", "පෙම්බර ලංකා", "ග්රැමෆෝන් ගී", "අරලිය ලන්දට", "නිලම්බරේ" සහ "පිරිත් පැන්" ඇතුළු නිර්මාණ රැසක් බිහි වූ අතර ආදර ගීතවලින් ඔබ්බට ගිය ඇය ආගමික ගීත, ළමා ගීත සහ සමාජීය අර්ථයක් සහිත ගීත රැසක්ද මෙරට රසික ජනතාව වෙත දායාද කර ඇත.
"දන්නෝ බුදුන්ගේ" වැනි ගීත ඔස්සේ ඇයගේ ගායන හැකියාවට සුවිශේෂී පිළිගැනීමක් හිමිවූ අතර, 1990 වසරේ නිර්මාණය කළ "සින්දු හෝඩිය" ගීත ඇල්බමය කුඩා දරුවන්ට සිංහල හෝඩිය හඳුන්වාදීම අරමුණු කරගත් සුවිශේෂී නිර්මාණයක් ලෙස පිළිගැනේ. මෙසේ දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයේ කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.
ඒ අතර හොඳම සහ ජනප්‍රියම ගායන ශිල්පිනිය ලෙස ඇය සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් හිමිකරගෙන තිබීමත්, "ගලන ගඟකි ජීවිතේ", "මේ සිංහල අපගෙ රටයි", "රංග සැඩොල් කඳුළු", "හඳ හාවුන්", "දෙනෝදහක් නුවන් අතරේ", "අම්මාවරුනේ", "අහසින් පොළවට" සහ "ඉවුරු බිඳුණු ගංතලාවේ" ඇතුළු ගීත වෙනුවෙන්ද ඇය සම්මානයට පාත්‍ර විය.
ඊට අමතරව ශ්‍රී ලංකාවෙන් ඔබ්බටද සිය ගායන හැකියාව රැගෙන ගිය ඇය සිංගප්පූරුව, මැලේසියාව, පාකිස්තානය, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, මැදපෙරදිග සහ මාලදිවයින ඇතුළු රටවල ප්‍රසංග සඳහා සහභාගී විය. 1988 දෙසැම්බර් 16 වැනිදා ඇය සිය 250 වැනි ප්‍රසංගය පවත්වා තිබෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය සංගීතයේ අනන්‍ය වූ ගායන ශෛලියකින් රසික හදවත් දිනාගත් නන්දා මාලනී මහත්මියගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්රයට මෙන්ම සුවහසක් රසික ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවක් වී අවසන්.