අත්‍යවශ්‍ය එන්නත් හිඟයක් සමඟ මේ රෝගීන් දැඩි අමාරුවක - එන්නත රු 17,000ත් 23,000ත් අතර මිලකට අලෙවි වෙයි
පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ෆිල්ගැස්ට්‍රිම් එන්නත් හිඟය සහ ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අද (20) දින පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු විය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ඉකුත් ජූලි මස සිට රජයේ රෝහල් පද්ධතිය තුළ මෙම ඖෂධයේ හිඟයක් පවතින බව පැවසුවා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වාර්ෂික ෆිල්ගැස්ට්‍රිම් එන්නත් අවශ්‍යතාව ලක්ෂ 3ක් වන අතර, මහරගම අපේක්ෂා රෝහල සඳහා පමණක් මාසිකව එන්නත් 9,750ක් සහ දෛනිකව එන්නත් 325ක් අවශ්‍ය වන බවයි.
එසේම 2026 වසර සඳහා ඇණවුම් කරන ලද එන්නත් 160,000ක තොගය ඉකුත් ජූලි 28 වන දින මෙරටට ලැබුණද එය ලියාපදිංචි ඖෂධයේ අවශ්‍යතා සපුරා නොමැති බැවින් ප්‍රතික්ෂ්කේප වීම මෙම හිඟයට ප්‍රධානතම හේතුව වී ඇති බවද නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම එන්නත් තොගයෙහි ප්‍රී-ෆිල්ඩ් සිරින්ජයේ ලේබලය මුද්‍රණය කර නොතිබීම මේ සඳහා හේතු වී ඇති බවයි.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කොන්දේසිවලට අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන දෝෂයක් වශයෙන් සලකා ප්‍රතික්ෂේප කර තිබෙන බවයි.
එම ඖෂධ තොගය නැවත ලේබල් කිරීමට චීනයට යවා ගෙන්වා ගැනීමට සති 6ක පමණ කාලයක් ගතවන බැවින්, පවතින හිඟයට පිළියම් වශයෙන් ඉල්ලුම් කළ රෝහල් සඳහා ප්‍රාදේශීයව මිලදී ගැනීම් සිදු කිරීමට ද අවසර ලබා දී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
තවද අමාත්‍යවරයා කියා සිටියේ පිළිකා සහ රුධිර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම්වල නිර්දේශ මත අදාළ එන්නත් තොගය භාවිතයට ගැනීමට ඇති හැකියාව පිළිබඳවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
කෙසේ වුවද පවතින තත්ත්වය හමුවේ අසරණ රෝගීන්ට පෞද්ගලික ඔසුසල්වලින් රුපියල් 17,000ත් 23,000ත් අතර අධික මුදලකට මෙම එන්නත් මිලදී ගැනීමට සිදුව තිබෙන බැවින්, රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට වහාම විධිමත් විසඳුමක් ලබා දෙන ලෙස ද මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.