එතකොට මේකද හේතුව..ඇති වූ විරෝධයට මාලිමා මන්ත්‍රීගෙන් පිළිතුරු ..
කුරුණෑගල, බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලකට පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාට එල්ලවූ චෝදනාව සම්බන්ධව ඔහු අදහස් ප්‍රකාශ කර තිබේ.
එහිදී ඔහු පැවසුවේ මෙම සිද්ධිය පිටුපස ඇත්තේ පැරදුණු දේශපාලනඥයින්ගේ අතකොළු බවය.
"ඇගලුම් ආයතනයේ සාකච්ඡාව පැයක පමණ කාලයක් සිදුවුණා. එයින් පසු මෙම ආයතනයෙන් පිටව යෑමට පැමිණෙන විට අපි දැක්කා විශාල පිරිසක් ආයතනය ඉදිරිපස ගේට්ටුව ළඟ ඉතාම කලහාකාරී ලෙස හැසිරෙනවා එතන පොලිස් නිලධාරීන් තිදෙනෙක් පැමිණ සිටියත් ඔවුන්ට මේ තත්ත්වය සමනය කරගන්න බැරිවුණා.
එක් පුද්ගලයෙක් අපි සිටි වාහනයේ ෂටර් එකක් ඇරලා මට ප්‍රහාරයක් එල්ල කළා. මගේ කමිසයෙන් ඇදලා එළියට ගන්න හැදුවා. එතන ප්‍රවාහන සමාගමේ ප්‍රවාහනය ලබාදීම පිළිබඳව ගමේ අයගෙන් විශාල පැමිණිලි රැසක් ලැබිලා තිබුණා. මෙතනදී ඒ අවශ්‍ය සාමය නීතිය රැකීමට අවශ්‍ය කටයුත්ත අපි සමාගමත් එක්ක සාකච්ඡා කරලා එයට නිවැරදි විසඳුම් ලැබිලා එළියට එන විට මේ පිරිස කලහාකාරී ලෙස අපිට පහර එල්ල කළේ.
මේ පිටුපස අපි දකිනවා පසුගිය කාල පරිච්චේදයේ පැරදුණ දේශපාලකයින්ගේ අතකොළු විදිහට විශාල මුදලක් සමග, ඒ කප්පම් මුදලත්, කොමිස් මුදලත් සමග කටයුතු කරන පිරිසක් ඉන්නවා ඒ පිරිස තමයි අපිට එරෙහිව ඉදිරියට පැමිණියේ."
ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාට බිංගිරියේදී ජනතාවගෙන් අද (30) විරෝධයක් එල්ල වුණි. ඒ එහි කම්හලක සේවකයන්ගේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධ මෙතෙක් ක්‍රියාත්මක වැඩපිළිවෙළක් වෙනස්කිරීමට දැරූ උත්සාහයක් හේතුවෙනි.
ජාතික ජන බලවේගයේ හලාවත ආසන සංවිධායක අජිත් ගිහාන් ප්‍රනාන්දු මහතා සමඟ ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා අද කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලකට පැමිණ තිබුණි.
එහි සේවකයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් කම්හල අවට සිටින පිරිස් එක්ව සපයන අතර මන්ත්‍රීවරයා එම ප්‍රවාහන සේවාව ලබාදීමට හැකි වෙනත් පාර්ශ්වයක් පිළිබඳ එහිදී යෝජනා කර තිබේ.
එහිදී කම්හල් සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන පිරිසකගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වුණි.
You may like this video