අතුරුදන් වීමට හේතුව ව්‍යාපාරිකයා හෙළිකරයි

Nihal Talduwa Sri Lanka Sri Lanka Police Investigation Businessman
By Sewvandhi Aug 19, 2023 10:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (18) කොළොන්නේදී පැහැරගැනීමට ලක්වූ බවට වාර්තාවූ ව්‍යාපාරිකයා මිරිහාන පොලීසිය විසින් රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.ඒ දෙල්කඳ ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක රැඳී සිටියදීය.

පසුගිය 16 වනදා කොළොන්න ප්‍රදේශයෙදී වෑන් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකුට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ලකර පැහැරගෙන ගොස් ඇති බවට කොළොන්න පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

පසුව පොලීසිය විසින් ව්‍යාපාරිකයා ගමන් කළ වෑන් රථය අනිල්කන්ද පොදු සුසාන භූමිය ආසන්නයේ තිබී සොයාගෙන තිබේ. එහි රියදුරු අසුනට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවී තිබූ අතර එහි මිරිස් කුඩු විසිරී තිබෙන අයුරු පිළිබඳව සැකයක් පවතින බවයි පොලීසිය පැවසුවේ.

ඒ මිරිස් කුඩු යම්කිසි පුද්ගලයෙකු විසින් එහි ඉස ඇති අයුරින් විසිරී තිබීම හේතුවෙනි. එවන් පසුබිමක මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත ඊයේ (18) පස්වරුවේ තොරතුරක් ලැබී තිබුණේ එම ව්‍යාපාරිකයා දෙල්කඳ ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක රැඳීසිටින බවටය.

ඒ අනුව පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමග සිටි 37 හා 62 හැවිරිදි වියේ පසුවන රක්වාන හා ගංගොඩවිල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවකු සතුව තිබී ව්‍යාපාරිකයා විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක්, විවිධ බැංකු ගිණුම්වලට බැර කරන ලද මුදල් රිසිට්පත් කිහිපයක් හා ඔහු නුගේගොඩ ප්‍රදේශයට පැමිණි ත්‍රීරෝද රථයද පොලීසිය සිය භාරයට ගෙන තිබුණි.

 අදාළ පැහැරගැනීම ව්‍යාපාරිකයා විසින්ම නිර්මාණය කරන ලද සැලසුම් සහගත සිදුවීමක් බවයි, පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් ලත්දූව මහතා,

"දැනට සිදුකළ පරීක්ෂණවලින් පැහැදිලිවම අනාවරණය වී තිබෙන්නේ මෙම පුද්ගලයා විසින්ම සිදුකළ සැලසුමක් අනුව තමයි මේ ආකාරයට ඔහු කොළඹ ප්‍රදේශයට ඇවිල්ලා තිබෙන්නේ. එසේ නොමැතිව කිසිදු පැහැරගැනීමක් සිදුවෙලා නෑ. ඔහු දැනට ලබා දීලා තිබෙන ප්‍රකාශ අනුව සැක කරන්නේ ඔහුට ඇති යම් යම් ආර්ථිකමය ප්‍රශ්න නිසා මෙම සිද්ධිය සිදුකර ඇති බව කියන කාරණය. යම්කිසි කාලයකට වසන් වෙන්න තමයි ඔහු විසින්ම මෙම සැලසුම සිදුකර තිබෙන්නේ කියලත් අනාවරණය වෙන තවත් කාරණයක්."

සැකකරුවන් අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ReeCha