ආනයන-අපනයන වංචාකරුවන්ට අපරාධ නීතිය යටතේ දැඩි දඬුවම් දීමට රජය සූදානම් බව ඇමති අනිල් කියයි
ආනයන අපනයන ගනුදෙනුවලදී සිදුවන මූල්‍ය වංචාවන්ට සම්බන්ධ පුද්ගලයන් අපරාධමය වරදකරුවන් ලෙස හඳුනාගෙන නීතිය හමුවට ගෙන ඒම සඳහා නව නීතිමය ප්‍රතිපාදන සකස් කරමින් පවතින බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, වත්මන් විදේශ විනිමය පනතේ පවතින ඇතැම් හිඩැස් හේතුවෙන් මෙවැනි වංචා මේ වන විට ප්‍රධාන වශයෙන් සිවිල් වැරදි ලෙස වර්ගීකරණය වී ඇති බවයි.
ඔහු සඳහන් කළේ, වත්මන් ක්‍රමවේදය යටතේ මෙවැනි සිදුවීම්වලදී මහ බැංකුව මඟින් දඩ නියම කිරීමක් පමණක් සිදුවන බවත්, සැලසුම් සහගතව විදේශ විනිමය වංචා කරන පුද්ගලයන්ට එවැනි දඩ ගෙවීම විශාල බාධාවක් නොවන බවත්ය.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස අදාළ නීති විරෝධී ක්‍රියා අපරාධමය වරදක් ලෙස නිර්වචනය කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන සිදුකළ විමර්ශන වාර්තා තුනකින් මහා පරිමාණ මූල්‍ය වංචා අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වත්මන් ආනයන ක්‍රමවේදය අනුව රේගු නිෂ්කාශනයට පෙර ආනයනකරුවන්ට අත්තිකාරම් මුදල් ගෙවා භාණ්ඩ ගෙන්වීම සඳහා සහන කාල ලබා දී තිබේ.
සාමාන්‍ය කර්මාන්ත භාණ්ඩ සඳහා දින 180ක්, ඇතැම් විශේෂිත භාණ්ඩ සඳහා දින 360ක් සහ දිගුකාලීන අවශ්‍යතා සඳහා දින 730ක් දක්වා කාලයක් ලබා දෙන බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, මෙම පහසුකම් අවභාවිත කරමින් විදේශයන්ට ඩොලර් යවා ඇති නමුත් ඊට අදාළ භාණ්ඩ මෙරටට ආනයනය නොකළ අවස්ථා විමර්ශනවලදී හෙළි වී ඇති බව සඳහන් කළේය.
මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රේගු දෙපාර්තමේන්තුව සහ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය ඇතුළු ආයතනවල පද්ධති ඒකාබද්ධ කිරීමට රජය කටයුතු කරන බවද ඔහු පැවසීය.
එමෙන්ම, බැංකු මඟින් සිදුකරන මුදල් ගනුදෙනු සඳහා රේගු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය අනිවාර්ය කිරීමේ රෙගුලාසි හඳුන්වා දීමටද සැලසුම් කර ඇති බව සඳහන් කළේය. නීති විරෝධී අපනයන සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, විවිධ රේගු සංකේත අවභාවිත කරමින් භාණ්ඩ අපනයනය කිරීමේ ජාවාරම් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි.
විශේෂයෙන් මෙරටින් අපනයනය කළ නොහැකි ඇතැම් ලෝහ වර්ග වෙනත් භාණ්ඩ ලෙස පෙන්වා ව්‍යාජ සංකේත යටතේ අපනයනය කර ඇති අවස්ථා හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.