ළමුන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කළාට මෙටා සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්- ඇමරිකානු ප්‍රාන්ත 29කින් චෝදනා

By Kanchana Aug 19, 2026 04:42 AM GMT
Report

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා ළමුන් සහ යෞවනයන් හිතාමතාම ආකර්ෂණය කරගනිමින් ඔවුන්ගේ භාවිතය දිගු කිරීමට මෙටා සමාගම කටයුතු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පැවරූ දැවැන්ත නඩුවේ විභාගය කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදී ආරම්භ වී තිබේ.

එක්සත් ජනපද ප්‍රාන්ත 29ක් විසින් 2023 වසරේදී ගොනු කරන ලද මෙම නඩුව, ළමුන් සම්බන්ධ ෆෙඩරල් සහ ප්‍රාන්ත පෞද්ගලිකත්ව නීති රැසක් මෙටා උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරයි. ඉදිරි සති හය පුරා පැවැත්වීමට නියමිත නඩු විභාගයේදී ප්‍රාන්ත සහ මෙටා සමාගමේ නීතිඥවරුන් සිය තර්ක ඉදිරිපත් කරනු ඇත.

ප්‍රාන්ත වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් චෝදනා කරන්නේ වයස අවුරුදු 13ට අඩු දරුවන් ඇතුළු තරුණ පරිශීලකයින් වේදිකාවල රඳවා තබා ගැනීමට මෙටා දැනුවත්ව කටයුතු කළ බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ සමාගම තම අභ්‍යන්තර පර්යේෂණ හරහා ඉන්ස්ටග්‍රෑම් භාවිතය තරුණයින්ගේ යහපැවැත්මට බලපාන ආකාරය පිළිබඳව දැන සිටි බවයි. කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිඥ මේගන් ඕ'නීල් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අතර මෙටාගේ අභ්‍යන්තර පර්යේෂණ වාර්තා, සේවක විද්‍යුත් තැපැල් සහ කතාබස් පණිවිඩද ඇතුළත් විය.

පරණ NIC එකට තිත - ලංකාවේ මිලියන 17ටම ඩිජිටල් හැඳුනුම්පත්

පරණ NIC එකට තිත - ලංකාවේ මිලියන 17ටම ඩිජිටල් හැඳුනුම්පත්

එවැනි එක් අභ්‍යන්තර පර්යේෂණයකදී යෞවනයන් අතර ඉන්ස්ටග්‍රෑම් භාවිතය සම්බන්ධයෙන් ඇබ්බැහි වීමක් වැනි අත්දැකීමක් පවතින බව සඳහන් කර තිබූ බව ඕ'නීල් ජූරි සභාවට පෙන්වා දුන්නාය.

තවත් පර්යේෂණයකින්, පරිශීලකයින් වේදිකාවේ වැඩි කාලයක් රැඳී සිටීමට සැලසුම් කරන ලද ඇතැම් නිෂ්පාදන විශේෂාංග ඔවුන්ගේ යහපැවැත්මට අහිතකර විය හැකි බව මෙටා හඳුනාගෙන තිබූ බවද ඇය පැවසුවාය.

ප්‍රාන්ත නීතිඥයන්ට අනුව, මෙම කරුණු පිළිබඳව දැනුවත්ව සිටියද මෙටා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතය සඳහා තරුණයින් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කර ඇති අතර, එම වේදිකා දරුවන්ට ආරක්ෂිත බවට මහජනතාවට පෙන්වීමටද උත්සාහ කර තිබේ. මෙටා වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන නීතිඥ පෝල් ෂ්මිට් එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ඔහු පෙන්වා දුන්නේ මෙටා විසින් වයස අවුරුදු 11 සහ 12 අතර පරිශීලකයින් 100,000කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති නමුත්, ප්‍රාන්ත නීතිඥයන් සඳහන් කරන පරිදි එය මිලියන ගණනක් නොවන බවයි. යෞවනයන් සම්බන්ධයෙන් මෙටා සිදුකළ පර්යේෂණවලින් ඍණාත්මක ප්‍රතිඵල පමණක් තෝරා ඉදිරිපත් කිරීම පිළිබඳවද ෂ්මිට් ප්‍රාන්තවලට චෝදනා කළේය.

ඔහු සඳහන් කළේ එක් පර්යේෂණයකදී යෞවනයන්ගෙන් 20%ක් ඉන්ස්ටග්‍රෑම් තමන්ට අහිතකර ලෙස බලපාන බව පවසා තිබුණද, 41%ක් එය තමන්ට හොඳ හැඟීමක් ඇති කරන බවත් තවත් 41%ක් එයින් බලපෑමක් නොමැති බවත් පවසා ඇති බවයි. සමාජ මාධ්‍ය ඇබ්බැහි වීම සම්බන්ධයෙන්ද මෙටා වෙනස් මතයක් ඉදිරිපත් කර තිබේ. ෂ්මිට් පැවසුවේ සමාජ මාධ්‍ය භාවිතය සමඟ ඇතැම් පුද්ගලයින් අරගල කරන බව සමාගම පිළිගන්නා නමුත්, එය විද්‍යාත්මකව තහවුරු කළ “සමාජ මාධ්‍ය ඇබ්බැහි වීමක්” ලෙස සැලකිය නොහැකි බවයි.

වයස තහවුරු කිරීම සම්බන්ධයෙන්ද මෙටා නීතිඥවරයා ප්‍රාන්තවල තර්කයට අභියෝග කළේය. ඔහු පෙන්වා දුන්නේ බාලවයස්කරුවන් හඳුනා ගැනීමට අවශ්‍ය දත්ත රැස් කිරීම සහ භාවිත කිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකත්ව නීතිමගින්ම සමාගමට සීමා පනවා ඇති බවයි.

කෙසේ වෙතත්, ප්‍රාන්ත පාර්ශ්වය තර්ක කරන්නේ මෙටා තම වේදිකාවලින් පරිශීලකයින් වැඩි කාලයක් රඳවා ගැනීම සහ ඔවුන්ගේ දත්ත රැස් කිරීම මත පදනම් වූ ව්‍යාපාරික ආකෘතියක් පවත්වාගෙන යන බවයි. මෙම නඩුවෙන් ප්‍රාන්ත 29 අපේක්ෂා කරන්නේ ඩොලර් බිලියන ගණනක වන්දියක් පමණක් නොවේ.

ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් වේදිකාවල වෙනස්කම් සිදුකරන ලෙසද ඔවුන් ඉල්ලා සිටී. ඒ අතර “ලයික්” ගණන් කිරීම සහ අසීමිත අනුචලන පහසුකම් වැනි විශේෂාංග වෙනස් කිරීම හෝ අවසන් කිරීමද ඇතුළත් වේ. නඩු විභාගය ඉදිරියට යන විට මෙටාගේ අභ්‍යන්තර පර්යේෂණ සහ එහි ප්‍රසිද්ධ ප්‍රකාශ අතර ඇති බවට ප්‍රාන්ත පාර්ශ්වය පෙන්වා දෙන වෙනස්කම් මෙම නඩුවේ ප්‍රධාන අවධානයක් වනු ඇත.