අද සිට පළාත් පාලන සතිය ඇරඹෙයි - සැප්තැම්බර් 19 වැනි දින තෙක් දිවයින පුරා විශේෂ වැඩසටහන් රැසක්
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ජාතික තේමාව පෙරදැරි කරගනිමින්, සමස්ත ලංකා පළාත් පාලන පද්ධතියම ආවරණය වන ලෙස සංවිධාන කරනු ලබන ‘පුනරුදයේ පුරවර’ පළාත් පාලන සතිය අද (14) දින ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් මෙහෙයවනු ලබන මෙම විශේෂ වැඩසටහන සැප්තැම්බර් 19 වැනි දින තෙක් දිවයින පුරා ක්‍රියාත්මක වේ.
මෙම සතියේ ප්‍රධාන අරමුණ වන්නේ සාම්ප්‍රදායික නිලධාරිවාදි රාමුවෙන් මිදී මහජන කේන්ද්‍රීය, කාර්යක්ෂම, පරිසර හිතකාමී සහ පාරදෘශ්‍ය පළාත් පාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම සහ මහජනතාව සෘජුවම රාජ්‍ය පාලන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමයි.
ඒ අනුව අද (14) දින සමාරම්භක දිනය ජංගම සේවා සහ ආදායම් ප්‍රවර්ධන දිනය ලෙස වෙන්කොට ඇත.
ඒ පළමු දිනය පළාත් පාලන සේවාවන් මහජනතාව වෙත තවදුරටත් සමීප කිරීම සහ ආදායම් මාර්ග පුළුල් කරගැනීමටයි.
මෙදින ප්‍රදේශයේ විවිධ ස්ථානවල ජංගම සේවා පවත්වනු ලබන අතර හිඟ වරිපනම් සහ කඩකුලී රැස්කිරීම, සරල ගෙවීම් ක්‍රමවේද (සරල ආකෘති පත්‍ර, සහන ක්‍රම) ඔස්සේ සිදු කෙරෙයි.
එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අංශ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව කටයුතු කරමින්, ඉදිරි වාර්ෂික අය-වැය ලේඛන සඳහා යොදාගැනීමට මහජන අදහස් සහ පැමිණිලි ලබාගැනීම සිදු කරයි.
මේ අතර හෙට (15) මහජන උපයෝගිතා දිනය ලෙස වෙන් කර ඇත.
ප්රජාතන්ත්රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය හෙටට යෙදෙන බැවින් ඊට අදාළ වැඩසටහන්වලටද ප්රමුඛත්වයක් ලබා දෙන බව වාර්තා වේ.
එසේම වෙළඳපළ, සතිපොළ, නාගරික හා ළමා උද්‍යාන, ක්‍රීඩා පිටි, සුසාන භූමි, ආදාහනාගාර සහ ඔරලෝසු කණු වැනි පොදු ස්ථාන අලුත්වැඩියා කර පිරිසිදු කෙරෙයි.
මේ අතර පවතින වියළි කාලගුණයට මුහුණදීමට පොදු ළිං හා උල්පත් පිළිසකර කෙරෙන අතර, පෞද්ගලික ආයතන සහ සිවිල් සංවිධාන සහභාගි කරවා ගනිමින් මාර්ග අලංකරණය, වීථි ලාම්පු නඩත්තුව සහ ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාත්මක වේ.
සැප්තැම්බර් 16 වැනි බදාදා පරිසර සහ රුක්රෝපණ දිනය වශයෙන් වෙන්කර ඇති අතර ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනයද එදිනට යෙදී ඇත.
එමෙන්ම පාසල් සිසුන් හා මහජනතාව සම්බන්ධ කරගනිමින් පා ගමන්, සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන සංවිධාන කෙරෙයි.
තවද 3R (Reduce, Reuse, Recycle) සංකල්පයට අනුව කසළ කළමනාකරණය, භාණ්ඩ හුවමාරු පොළ පැවැත්වීම සහ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය රැස්කිරීම සිදු කෙරෙන අතර කඩොලාන වගාව, ගංගා හා වැව් ඉවුරු ආරක්ෂාවට උණ ශාක සිටුවීම සහ ගෘහස්ථ කොම්පෝස්ට් භාවිතයෙන් ගෙවතු වගාව ප්‍රචලිත කිරීමද සිදු කිරීමට නියමිතව ඇත.
එමෙන්ම සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය ලෙස නම්කොට ඇති අතර රෝගී සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තර දිනය එදිනට යෙදී ඇත.
එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, පොලීසිය සහ ස්වේච්ඡා සංවිධාන එක්ව රෝහල්, පාසල්, රාජ්‍ය ආයතන සහ මාතෘ සායන මධ්‍යස්ථාන පිරිසුදු කිරීම සිදුකරන බව වාර්තා වේ.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මර්දනයට ධූමායනය සහ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කෙරෙන අතර ඊට අමතරව සුනඛයන් සඳහා ජලභීතිකා එන්නත්කරණය, වැඩිහිටියන් උදෙසා ආයුර්වේද සායන, නොමිලේ සෞඛ්‍ය/අක්ෂි/මාතෘ සායන, මනෝ වෛද්‍ය උපදේශන සහ ලේ දන්දීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතව ඇත.
අනතුරුව සැප්තැම්බර් 18 සිකුරාදා දිනය සාහිත්‍ය, අධ්‍යාපන, පුස්තකාල සහ ක්‍රීඩා දිනය වශයෙන් නම්කර ඇත. පස්වැනි දිනයේදී ආධ්‍යාත්මික හා ශාරීරික සුවතාව උදෙසා වැඩසටහන් සංවිධාන කෙරෙන අතර සැප්තැම්බර් සාහිත්‍ය මාසයට සමගාමීව පොත් ප්‍රදර්ශන, පාඨක සමාජ ප්‍රවර්ධනය, නිර්මාණකරුවන් ඇගයීම, ජංගම පුස්තකාල සේවා සහ මාර්ගගත දැනුවත් කිරීම් සිදු කිරීමට නියමිත බව සඳහන්.
තවද ප්‍රාදේශීය ක්‍රීඩා සංගම්, රාජ්‍ය ආයතන සහ මහජනතාව සහභාගි කරවා ගනිමින් ක්‍රීඩා තරග, ජන ක්‍රීඩා ප්‍රචලිත කිරීම සහ ශාරීරික සුවතා වැඩසටහන් පැවැත් වේ.
සැප්තැම්බර් 19 සෙනසුරාදා සහතික පත්‍ර ප්රදානය සහ සමාප්තිය සඳහා වෙන්කර ඇති අතර සතිපතා වැඩසටහන් මාලාවේ අවසන් දිනයේදී සතිය පුරා පැවැත්වූ සියලු තරගවල ජයග්‍රාහකයන්ට සහතික පත්‍ර සහ ත්‍යාග පිරිනැමීමට ද නියමිතව ඇත.