දිස්ත්‍රික්ක පහක ජනතාවට තම ප්‍රදේශයෙන්ම යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම
දිස්ත්‍රික් ලේකම් කාර්යාල පහක් හරහා නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම එළැඹෙන 19 වැනිදා සිට යළි ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව යාපනය, හම්බන්තොට, අනුරාධපුර, කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකිරීමට අවස්ථාව හිමිවනු ඇත. මෙම සේවාව මීට පෙරද අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක වූ නමුත්, කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවා තිබිණි.
ඒ හේතුවෙන් පසුගිය කාලය පුරා නව යතුරුපැදියක් ලියාපදිංචි කර ගැනීම සඳහා හිමිකරුවන්ට නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණීමට සිදුව තිබිණි.
නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමඟ අදාළ දිස්ත්‍රික්කවල ජනතාවට සිය ප්‍රදේශයට ආසන්න ස්ථානයකින් නව යතුරුපැදි ලියාපදිංචි කර ගැනීමේ පහසුකම හිමි වේ.