සති 2ක් දැඩි සංචරණ සීමා පනවන්නැයි ලිපියක්..ජනපති තීරණය කුමක් ද..?
කොවිඩ්-19 රෝගීන් සඳහා සේවා සපයන සියලු ම රෝහල් සමස්ත ධාරිතාව ඉක්මවා ඇති බැවින් තවත් කිසිදු නව කොවිඩ් රෝගියෙකුට ඇඳන් සපයා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් පෙන්වා දී තිබේ.
එම සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න සහ සංගමයේ අන්තර් කමිටුවේ කැඳවුම්කරු මහාචාර්ය තාමසි මකුලොලුව යන මහත්මීන්ගේ අස්සනින් ජනාධිපතිවරයා වෙත යවා ඇති මෙම ලියුම යොමුකර ඇත්තේ අගෝස්තු 11 වන දා ය.
ජනාධිපතිවරයා වෙත යවා ඇති මෙම ලියුමේ පිටපත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂාව වසංගත සහ කොවිඩ් රෝග මර්දන රාජ්‍ය ඇමැතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සැපයුම් නියාමන හා නිෂ්පාදන රාජ්‍ය ඇමැති ආචාර්ය චන්න ජයසුමන, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් වෙත ද යොමුකර ඇත.
ඉකුත් සති කිහිපයේදී රෝහල්වල සහ ප්‍රජාව අතර කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වැඩිවෙමින් පැවැතීම සෞඛ්‍ය පද්ධතියට සහ සාමාන්‍ය ජනතාවට විශාල බලපෑමක් වී ඇති බව ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකිරීමට තම සංගමය බලාපොරොත්තු වෙන බව එම ලිපියේ සඳහන්වේ.
එම ලිපියේ තවදුරටත් මෙසේද සඳහන් වෙයි.
"කොවිඩ්-19 රෝගීන් සඳහා සේවා සපයන සියලු රෝහල් ධාරිතාව ඉක්මවා ඇති අතර කිසිදු අලුත් රෝගියෙකුට ඇඳක් සොයාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇත. රෝහල්වල ඉඩකඩ සීමාවක් නොමැතිව කොවිඩ්-19 රෝගීන් සඳහා පුළුල් කිරීම හේතුවෙන් අනෙකුත් රෝගවලින් පීඩා විඳින්නෝත් බරපතළ අපහසුතාවකට ලක්ව සිටිති. සෞඛ්‍ය සේවකයන් අතර ආසාදනය පැතිර යමින් ඔවුන් රෝගී තත්ත්වයට පත්වී තදබල කාර්ය මණ්ඩල හිඟයක් ද ඇතිවී තිබේ.
මෙය කොවිඩ් රෝගීන්ට මෙන් ම කොවිඩ් නොවන රෝගීන්ට ද සුව සේවා සැපයීමට බලපාන අතර මෙය සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතිය ම බිඳ දැමීමටත් ඉතා ම ආසන්නයේදී මරණ සංඛ්‍යාව ඉහළ යෑමටත් හේතුවනු ඇත. එහෙයින් ඉතා ඉක්මනින් කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව අඩු කිරීම හදිසි අවශ්‍යතාවක්ව පවතින අතර මෙය සාක්ෂාත් කරගත හැක්කේ දැඩි සංචරණ සීමා පැනවීමෙන් පමණි. එන්නත්කරණය මගින් කොවිඩ්-19 රෝගයේ බරපතළකම සහ මරණ අඩු කරන බව කැපී පෙනෙන්නකි.
ෆයිසර්-බයෝටෙක් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වල එක මාත්‍රාවකින් සැලකිය යුතු ආරක්ෂාවක් සැලසෙන අතර සිනොෆාම් එන්නතේ මාත්‍රාවක් ලබාදී සති දෙකකට පසුව දෙවැනි මාත්‍රාව ලබාදෙන තෙක් කිසිදු රැකවරණයක් නොසැලසේ. එහෙයින් වයස අවුරුදු හැටට ඉහළ සහ රෝග කිහිපයකින් පීඩා විඳින ඉහළ අවදානමක් සහිත පුද්ගලයන්ට ඉක්මනින් ප්‍රේරණය කරන ප්‍රතිශක්තියක් අවශ්‍යය.
එවැන්නක් සඳහා ඉහත දැක්වූ ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනෙකා ලබාදීමෙන් ජීවිත රැසක් දැකගත හැකි වෙයි. ඔවුන්ට ප්‍රජා මධ්‍යස්ථානවලදී මෙන් ම රෝහල්වලදී ද එන්නත ලබාගත හැකිය. ඉහත කරුණු අවධානයට ගනිමින් පහත සඳහන් පියවර ඉතා කඩිනමින් ගන්නා ලෙස අප ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
අත්‍යවශ්‍ය සේවා සහ එන්නත්කරණයට බාධාවක් නොවන අයුරින් අවම වශයෙන් සති දෙකක කාලයකටවත් ඉතා දැඩි සංචරණ සීමා ප්‍රකාශයට පත්කිරීම. සියලු ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ රෝග කිහිපයකින් පීඩා විඳින අයට එක් මාත්‍රාවකින් ප්‍රතිශක්තිය ලබාදෙන එන්නත් වෙන්කිරීමට කටයුතු කරන ලෙස. ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය සහ අන්තර් කමිටුව ජාතියේ ආරක්ෂාව සඳහා ඔබ දරන උත්සාහයට උදවු උපකාර කිරීමට කැප වන අතර පවතින තත්ත්වය සම්බන්ධව සවිස්තරව කරුණු දැක්වීම සඳහා ඔබතුමා සමග කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලමු."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |