කොම්පඤ්ඤවීදියේ කුඩු නෝනා හෙරොයින් සහ ජාවාරම් මුදල් සමඟ කිරිබත්ගොඩදී අත්අඩංගුවට
වසර ගණනාවක් පුරා සංවිධානාත්මකව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ 'කොම්පඤ්ඤවීදියේ කුඩු නෝනා' හෙවත් 'නෝනා අම්මා' නැමැති කාන්තාව හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ජාවාරමෙන් උපයාගත් මුදල් ද සමඟ කිරිබත්ගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පද්මා රංජනී නැමැති 54 හැවිරිදි මෙම සැකකාරිය, සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ලබාදීම සඳහා මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ අවස්ථාවේදී මෙලෙස වැටලීමට ලක්ව ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී විකිණීමට සූදානම් කර තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයාගන්නා ලදැයි සැකකෙරෙන රුපියල් 48,000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
කොම්පඤ්ඤවීදිය සහ කිරිබත්ගොඩ ප්‍රදේශයන්හි පදිංචිව සිට ඇති ඇයට එරෙහිව මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඇය අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 34ක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප මත නිදහස් වූ තැනැත්තියකි.
දීර්ඝ කාලයක සිට පොලීසිය මඟහරිමින් ජාවාරමේ නිරත වූ මෙම සැකකාරිය සම්බන්ධයෙන් මෙන්ම ඇය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්, දේපළ හා නීති විරෝධී වත්කම් පිළිබඳව කිරිබත්ගොඩ පොලීසිය මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
එම අනාවරණය කරගන්නා වත්කම් පිළිබඳව ඉදිරියේදී අධිකරණය වෙත තොරතුරු වාර්තා කිරීමට නියමිතය. පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකාරිය, මෑතකදී පාතාල කල්ලි දෙකක් අතර ඇතිවූ සන්නද්ධ ගැටුමකින් මියගිය ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ 'චූටි උක්කුං' නමැත්තාගේ නැන්දණිය බවයි.
එමෙන්ම 'කූඹිකැලේ චූටි' ලෙස හැඳින්වෙන ඇගේ සැමියා ද මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරු වී රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි. අත්අඩංගුවට ගත් සැකකාරිය විෂමද්‍රව්‍ය පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරමින් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.