මානව හිමිකම් අපයෝජන නඩුවල වේගය මදි - හියුමන් රයිට්ස් වොච් වෙතින් වාර්තාවක්

Report

ශ්‍රී ලංකා රජය අතීතයේ සිදුවූ බරපතළ මානව හිමිකම් අපයෝජන සම්බන්ධයෙන් නඩු පැවරීමේදී ප්‍රමාණවත් වේගයකින් කටයුතු නොකරන බවත්, ඉදිරියේදී මෙම ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ කනස්සල්ලක් මතුව ඇති බවත් හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය පවසයි.

අද (03) නිකුත් කළ නවතම වාර්තාවකින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය සංකේතාත්මක මානව හිමිකම් නඩු විසඳීම සඳහා මෙන්ම ජාත්‍යන්තර වගවීමේ ක්‍රියාවලීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා වැඩි දේශපාලන අධිෂ්ඨානයක් පෙන්විය යුතු බවයි.

“යුක්තිය සම්බන්ධයෙන් අව්‍යාජ නොවීම: ශ්‍රී ලංකාවේ අතීත අපයෝජන සම්බන්ධයෙන් නඩු පැවරීමට ඇති කැමැත්ත නොමැතිකම” යන මැයෙන් යුත් පිටු 49ක වාර්තාව මගින්, 2024 වසරේ දිසානායක රජය බලයට පත්වීමෙන් පසු යම් ප්‍රගතියක් පෙන්නුම් කළ බරපතළ අපයෝජන සම්බන්ධ ප්‍රධාන නඩු හතක් පිළිබඳව විමසා තිබේ.

එම වාර්තාවට අනුව, ආධාර සේවකයින් ඝාතනය කිරීම, මාධ්‍යවේදීන් ඉලක්ක කරගැනීම සහ ශාස්ත්‍රඥයින් ඇතුළු පුද්ගලයින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැනි වැදගත් නඩු රැසක් තවමත් ඇණහිට තිබේ. එමෙන්ම වින්දිතයින්ගේ පවුල් සහ මානව හිමිකම් ආරක්ෂකයින් තර්ජන හා බියගැන්වීම්වලට මුහුණ දෙන බවද  හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය  සඳහන් කරයි.

හියුමන් රයිට්ස් වොච් හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අධ්‍යක්ෂ ලුසී මැකර්නන් සඳහන් කර ඇත්තේ, බරපතළ අපයෝජන සම්බන්ධයෙන් යුක්තිය ප්‍රමාද කිරීමේ හා ප්‍රතික්ෂේප කිරීමේ අතීත ක්‍රමයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බවයි.

හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය  විසින් අපයෝජනයන්ට ගොදුරු වූ පුද්ගලයින් 32 දෙනෙකු, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්, නීතිඥයින් සහ අනෙකුත් මානව හිමිකම් ආරක්ෂකයින් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති අතර, අධිකරණ ලේඛන ඇතුළු මූලාශ්‍ර රැසක්ද අධ්‍යයනය කර තිබේ.

1987–1989 කාලයේ දකුණේ පැවති කැරැල්ල සහ 2009 වසරේ අවසන් වූ රජය හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර සිවිල් යුද්ධය අතරතුර රජයේ ආරක්ෂක හමුදා සහ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් විසින් දස දහස් ගණනක් ජනතාව වධහිංසාවට ලක්කර, බලහත්කාරයෙන් අතුරුදහන් කර, පැහැරගෙන ගොස් හෝ ඝාතනය කර ඇති බව වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ අතීත මානව හිමිකම් අපයෝජන සම්බන්ධයෙන් වගවීම සහ යුක්තිය තහවුරු කිරීමට ගත් උත්සාහයන් මීට පෙරද අසාර්ථක වී ඇති බව හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය පෙන්වා දෙයි.

1990 දශකයේ සිට අනුප්‍රාප්තික රජයන් විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොමිෂන් සභා 10කට වැඩි සංඛ්‍යාවක් පත් කළද, ඒවා නඩු පැවරීම්වලට හෝ අතුරුදහන් වූ දහස් ගණනක් පුද්ගලයින්ට සිදුවූ දේ අනාවරණය කිරීමට ප්‍රමාණවත් ප්‍රතිඵල ලබාදී නොමැති බව එම සංවිධානය පවසයි.

යාපනය ආසන්නයේ චෙම්මනි ප්‍රදේශයේ සමූහ මිනීවළ සම්බන්ධයෙන්ද වාර්තාවේ අවධානය යොමු කර තිබේ. එහිදී පුද්ගලයින් 582 දෙනෙකුගේ දේහයන් සොයාගෙන ඇති බව සඳහන් කරන HRW, ඔවුන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීම හෝ ඔවුන්ට සිදුවූ දේ අනාවරණය කර ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් නොමැති බව පෙන්වා දෙයි.

ඩොලරය නැවතත් රත් වෙයි - අද වාණිජ බැංකුවල ඩොලර් අනුපාත වෙනස් වූ හැටි මෙන්න

ඩොලරය නැවතත් රත් වෙයි - අද වාණිජ බැංකුවල ඩොලර් අනුපාත වෙනස් වූ හැටි මෙන්න

කෙසේ වෙතත්, මීට පෙර ඇණහිට තිබූ ප්‍රධාන විමර්ශන කිහිපයකදී දිසානායක රජය යම් ප්‍රගතියක් ලබා ඇති බවද  හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය සඳහන් කරයි.

ඒ අතර 2009 වසරේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, 2010 වසරේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සහ 2008–2009 කාලයේ තරුණයින් 11 දෙනෙකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධ විමර්ශන ඇතුළත් වේ. 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිටුපස ඉහළ පෙළේ රාජ්‍ය කුමන්ත්‍රණයක් පැවති බවට එල්ල වන චෝදනා සම්බන්ධ විමර්ශනයද දිසානායක මහතා බලයට පත්වීමෙන් පසු ඉදිරියට ගොස් ඇති බව වාර්තාවේ සඳහන් වේ.

2026 පෙබරවාරි මාසයේදී හිටපු හමුදා බුද්ධි නිලධාරියෙකු වන සුරේෂ් සලේ, ප්‍රහාර එල්ල කළ බවට චෝදනා ලැබූ ඉස්ලාමීය කණ්ඩායමක් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බවද හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය සඳහන් කරයි.

එමෙන්ම ජුනි මාසයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනෙකුට විදේශ සංචාර තහනමක් පැනවීමට අධිකරණය කටයුතු කළ බවද වාර්තාවේ දැක්වේ.

එහෙත් 2006 වසරේ දෙමළ සිසුන් පස්දෙනෙකු ඝාතනය කිරීම සහ ප්‍රංශ ආධාර සංවිධානයක් වන ඇක්ෂන් කොන්ට්‍රේ ලා ෆයිම්හි සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම වැනි සිද්ධීන් සම්බන්ධයෙන් තවමත් සැලකිය යුතු ප්‍රගතියක් නොමැති බව  හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය පෙන්වා දෙයි.

තවද, බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධ සාක්ෂි රැස් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පිහිටුවා ඇති ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය පිළිගැනීමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බවද එම සංවිධානය සඳහන් කරයි.

අතීත අපයෝජන සම්බන්ධයෙන් ස්වාධීනව නඩු පැවරීම සඳහා පොරොන්දු වූ මහජන නඩු පැවරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය ස්ථාපිත කිරීමටද රජය අපොහොසත් වී ඇති බව  හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය පවසයි.

ඒ වෙනුවට අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය වැනි පෙර රජයන් විසින් ආරම්භ කළ වැඩසටහන් සඳහා රජය සහාය දී ඇති නමුත්, බොහෝ වින්දිතයින්ගේ පවුල් ඒවා ප්‍රතික්ෂේප කර ඇත්තේ සැබෑ යුක්තිය ප්‍රමාද කිරීමේ ක්‍රියාමාර්ග ලෙස සලකමිනි.

2009 වසරේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති බවද  හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය  වාර්තාව අවධාරණය කරයි.

''ඉක්මනින් හමුවෙමු තාත්ති" - කලාවේ හිස්තැනක් ඉතිරි කර සමුගත් ප්‍රවීණ ගායක ප්‍රියංකර පෙරේරාගේ අභාවයෙන් පසු පුතු දිල්මින් තැබූ සංවේදී සටහන

''ඉක්මනින් හමුවෙමු තාත්ති" - කලාවේ හිස්තැනක් ඉතිරි කර සමුගත් ප්‍රවීණ ගායක ප්‍රියංකර පෙරේරාගේ අභාවයෙන් පසු පුතු දිල්මින් තැබූ සංවේදී සටහන