කීරි සම්බා හිඟය ඉහළට
වෙළඳපොලේ තවදුරටත් සම්බා සහ කීරි සම්බා සහල් හිඟයක් පවතින බව වෙලදසැල් හිමියන් චෝදනා කරයි. එවන් පසුබිමක පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සදහන් කළේ සහල් හිගය සහ මිල සම්බන්ධයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුවට දැනුම් දී ඇති බවයි.
ඒ පිළිබදව හෙට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදීද දැනුවත් කිරීමට පියවර ගන්නා බව ඔහු කියා සිටියා. එමෙන්ම, පවතින හිගයට විසදුමක් ලෙස කීරි සම්බා සදහා ආදේශකයක් ආනයනය කිරීම සුදුසු බවට ද නිර්දේශ කර ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා අප කළ විමසීමකදී සදහන් කළේ.
මේ අතර, ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා කාලය තුළ දිවයින පුරා සහල් වැටලීම් 3,000 ක් සිදු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කළා. රජය විසින් දේශීය සහල් හා ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළේ පැවැති සහල් හිගයත් සමග සහල් මිල ද ඉහළ යාම හේතුවෙන්.
කෙසේ වෙතත් මේ වනවිට පාලන මිල ඉක්මවා සහල් අලෙවි වන තත්ත්වයන් උද්ගතව ඇති අතර, ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ පවතින මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීම අසීරු වී ඇති බවටයි. එවන් පසුබිමක සම්බා සහ කීරි සම්බා සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් රජය පනවා ඇති ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා රජයෙන් ඉල්ලා සිටින්නේ.