කටුනායක ගුවන් තොටේ සිදුවූ දෙයකින් මගීන් දැඩි අපහසුතාවයක..
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානා හතරක් ඊයේ (28) දිනය තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වීම පැය ගණනක් ප්‍රමාද වීම නිසා මගීහු දැඩි අපහසුතාවට පත්වුණා.
සිංගප්පූරුව, පාකිස්තානය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් බලා පිටත්ව යාමට තිබූ ගුවන් යානා පැය ගණනාවක් ප්‍රමාද වී තිබිණ.
පාකිස්තානයේ ලාහෝර් නුවර බලා ඊයේ (28) අලුයම 2.30ට පිටත්ව යාමට නියමිතව තිබූ UL 153 ගුවන්යානය පැය ගණනක් ප්‍රමාද වීම නිසා එහි ගමන් කිරීමට පැමිණි ශ්‍රී ලංකාවේ සිටින පාකිස්තාන මහ කොමසාරිස්වරයාට යළි නිවස බලා පිටත්ව යාමට සිදුවූ බවයි වාර්තා වන්නේ.
ඉන්පසු ඉන්දියාවේ චෙන්නායි, බංග්ලාදේශයේ ඩකා බලා පිටත්ව යාමට තිබූ ගුවන්යානා ද ප්‍රමාද වීම නිසා මගී ජනතාව කලබලයක් හට ගැනුණා.
සිංගප්පූරුවේ චැන්ගි ගුවන් තොටුපොළ බලා ඊයේ (28 වැනිදා) දහවල් 12.15ට ගුවන්ගත වීමට නියමිතව තිබූ UL 308 දරන ගුවන්යානය පැය පහක් පමණ ප්‍රමාද වන බව මගීන් දැනගෙන ඇත්තේ ගුවන් තොටුපොළට පැමිණීමෙන් අනතුරුව බවයි පැවසෙන්නේ.
මෙම ගුවන්යානය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත්තේ ඊයේ (28 වැනිදා) පස්වරු 5.00ට පමණයි.
මගීහු චෝදනා කරන්නේ,මෙම ගුවන්යානයෙන් සිංගප්පූරුව බලා යාමට පැමිණි මගීන්ට ආහාර ලබාගැනීම සඳහා ටෝකන් පත්‍ර නිකුත් කළද ආහාර නොලැබුණු බවටයි.
තවද කරුණු විමසීම සඳහා කාර්යභාර නිලධාරීන් නොපැමිණි අතර, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ක්ෂණික දුරකථන අංකය වන 011-7771979ට දුරකථන ඇමැතුම් ලබාගත්තද ප්‍රතිචාර නොදැක්වීම නිසා මගීන් තවත් අපහසුතාවට පත් විය.
සිංගප්පූරුව බලා පෙරේදා (27 වැනිදා) අලුයම ගමන් කිරීමට තිබූ ගුවන්යානයකද ගැටලුවක් මතුවීම හේතුවෙන් ව්‍යාපාරික පන්තියේ ඇතැම් ගුවන් මගීන්ට වෙනත් ගුවන්යානයකින් ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර හරහා සිංගප්පූරුව බලා යාටම සිදුවුණා.
එම ගුවන් සේවය පවසන්නේ, දිගින් දිගටම ශ්‍රී ලන්කන් ගුවන්යානා ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව ප්‍රමාණවත් ගුවන්යානා නොමැති වීම බවයි.
සිය දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සඳහා ගුවන්යානා 24ක් අවශ්‍ය වුවද මේ වනවිට ක්‍රියාකාරී මට්ටමේ ධාවන කටයුතුවල නිරත වන්නේ ගුවන්යානා 20ක්.
එහෙත් තවත් A 330 හා A320 ගුවන්යානා දෙකක් දිගුකාලීන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සඳහා යොමුකර ඇති අතර තවත් A 320 නියෝ කාණ්ඩයේ ගුවන්යානා දෙකක් ප්‍රංශයේ එයාර් බස් සමාගමේ සිට නව එන්ජින් ලැබෙන තෙක් ධාවනයෙන් ඉවත්කර ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කියා සිටියේ, මීට අමතරව ශ්‍රී ලන්කන් ඉංජිනේරු අංශයේ සේවයේ නිරතව සිටි ගුවන් ඉංජිනේරුවන් තිස් දෙනකු ඉවත්ව විදේශගත වී ඇති බවත්, දැනට ඉතිරිව ඇති ඉංජිනේරුවන් සිය දෙනාගෙන් අත්‍යාවශ්‍ය සේවා ආවරණය කරගන්නා බවයි.
