මහනුවර තරුණියගේ මරණය ගැන තවත් තොරතුරු

By Sithumi Mar 11, 2023 03:34 PM GMT
Sithumi

Sithumi

Report

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුුරක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් අද (11) උදෑසන හමුවී තිබුණා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි විවාහක තරුණියක් බව පොලීසිය සඳහන් කළා. එම තරුණිය නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට සිදුකළ දැනුම්දීමක් අනුව කළ සොයාබැලීමකදී සිරුර හමුවී තිබුණා.

මෙලෙස මියගිය තරුණිය 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් විවාහක තරුණියක් සැමියා හා එක්ව ඇය වෙළෙඳසැළක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඊයේ රාත්‍රී 9.50ට පමණ සැමියා වෙළඳසැළ වසා දමා අවමගුල් උත්සවයකට සහභාගී වන බව පවසා පිටව ගොස් තිබෙනවා.

පසුව ඔහු අලුයම 2 ට පමණ නැවත නිවසට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කරයි. අනතුරුව අලුයම් කාලයේදී ඔවුන් දෙදෙනා පදිංචි නිවස දෙසින් කෑගසන ශබ්ද ඇසුණු බවට ප්‍රදේශවාසීන් පොලීසියට පවසා තිබේ.

මියගිය තරුණිය සහ ඇයගේ සැමියා අතර පවුල් ආරවුල් පැවැති බවටද ප්‍රදේශවාසීන් පවසා ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි. මෙය ඝාතනයක් බවට සැක මතුවන බැවින් සැමියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.