ජපන් දූත කණ්ඩායමක් දිවයිනට - හේතුව මෙන්න
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක සමාගමක් වන Connaissance De Ceylan ආයතනයේ සම්බන්ධීකරණයෙන්, ජපානයෙන් පැමිණි 11 දෙනකුගෙන් යුත් සංචාරක නියෝජිත පිරිස අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණියහ.
ඔවුන්ගේ අරමුණ ශ්‍රී ලංකාවේ ජන ඉතිහාසය, බුදුදහමේ ආගමනය හා විකාශනය, පාරම්පරික සංස්කෘතිය, ආයුර්වේදය, සම්ප්‍රදායික චාරිත්‍ර, ආහාර රටාව සහ ආර්ථික බෝග ආදිය පිළිබඳ වර්ධනය සහ අවබෝධය ලබා ගැනීමයි.
එම අවබෝධය මගින් දෙරට අතර සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා කළ හැකි මැදිහත්වීම් පිළිබඳ සාකච්ඡා කළ ඔවුන්, මේ දැනුම ජපානයේ ජනතාව සමඟ බෙදාහදා ගැනීමට කටයුතු කරන බවද පැවසීය.
තවද, ජපානයේ ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, කොළඹ, අනුරාධපුරය, සීගිරිය, මහියංගනය සහ මහනුවර යන ප්‍රදේශ මධ්‍යස්ථානය කරගෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුම ජාත්‍යන්තරව ගෙන යාම ආදී කරුණු පිළිබඳ සාකච්ඡා සිදු විය.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සහභාගී විය.