ජපාන අගමැතිගෙන් ජනපති රනිල්ට සුබපැතුම්
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida), ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය සුබපැතුම් එක් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ජපාන ජනතාවගේත් රජයේත් සුභාශිංසන පිරිනමන අතර ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ දියුණුව වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවී සිටින රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම සතුටට හේතු වූ බවයි.
රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය පිළිබඳ විශ්වාසය පළ කරන ජපාන අග්‍රාමාත්‍යවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන සාකච්ඡා සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කරනවා.
ආර්ථික ස්ථාවරභාවය සහ පරිපාලනමය ප්‍රතිසංස්කරණ තුළින් ශ්‍රී ලංකාවේ රජය දැනට මුහුණ පා සිටින අර්බුද ඉතා ඉක්මණින් අවසන් වනු ඇතැයි විශ්වාසය පළ කරන ජපාන අග්‍රාමාත්‍යවරයා ඉන්දියානු සාගරයේ සේවා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව විශාල දියුණුවක් ඇති රාජ්‍යයක් බවට පත් කළ හැකි බවයි ප්‍රකාශ කර ඇත්තේ.
දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරෙන බව සිහිපත් කරන ෆුමියෝ කිෂිඩා මහතා ජපාන - ශ්‍රී ලංකා සහයෝගීතාව වර්ධනය කිරීම මෙන්ම නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සහයෝගයෙන් වැඩ කිරීමට උනන්දුවෙන් පසුවන බව ද දන්වා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |