සෑම ලේ බිඳුවකටම මිලක් තියෙනවා.. ආරක්ෂක ප්‍රධානියා ඝාතනය කළාට වන්දිය ගන්නා බවට ඉරානයෙන් අනතුරු අඟවයි
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අලි ලැරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය වූ බව රජය විසින් තහවුරු කරලා පැය 24ක් පමණ ගතවී තිබෙන විට, ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා ඛමේනි විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ලැරිජානිගේ මරණය තමන් "අතිශය කනගාටුවෙන්" පිළිගන්නා බවත්, ඔහු ඉරාන දේශපාලන ක්ෂේත්‍රයේ "බුද්ධිමත්, කැපවූ සහ විශිෂ්ට" චරිතයක් බව උත්තරීතර නායකයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
මෙවැනි ඉහළ පෙළේ පුද්ගලයෙකු ඝාතනය කිරීමෙන් පෙනී යන්නේ ඉස්ලාමයේ සතුරන් ඔහුට දක්වන දැඩි වෛරය සහ ඔහුගේ වැදගත්කම බව ඛමේනි අවධාරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍යවලට අනුව ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ඉස්ලාමීය පද්ධතියේ මුල් පාමුල මෙසේ ලේ වැගිරීමෙන් එම පද්ධතිය තවදුරටත් ශක්තිමත් වන බව ඔහු සඳහන් කර තිබෙනවා.
"සෑම ලේ බිඳුවකටම මිලක් තිබෙනවා. මෙම ප්‍රාණ පරිත්‍යාගීන් ඝාතනය කළ අපරාධකරුවන්ට නුදුරේදීම එම මිල ගෙවීමට සිදුවනු ඇත..."
යනුවෙන් ඔහු දැඩි ලෙස අනතුරු ඇඟවීමක් කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙම ඝාතනය ඊශ්‍රායල - අමෙරිකානු ප්‍රහාරවල කොටසක් ලෙස සිදුව ඇති අතර, එය ඉරානයේ යුද්ධ තත්ත්වය තවදුරටත් උග්‍ර කර තිබෙනවා.