කොළඹදී ඉන්දීය ජනරජ දිනයට සමගාමීව විශේෂ සැමරුම් උත්සවයක්
ඉන්දීය ජනරජ දිනයට සමගාමීව විශේෂ සැමරුම් උත්සවයක් මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී පවත්වා ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසින් ඉන්දීය ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කරමින් උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණි.
මෙම අවස්ථාවට කොළඹ වෙසෙන ඉන්දීය ප්‍රජාවේ සාමාජිකයන්, ඉන්දීය ව්‍යාපාරිකයින් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සහ සංස්කෘතික බැඳීම මෙහිදී නැවතත් අවධාරණය විය.
උත්සවයේදී අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසුවේ ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සියලුම පුරවැසියන් ක්‍රියාකාරීව දායක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම පසුගිය වසරේදී “ඔපරේෂන් සින්දූර්” මෙහෙයුම හරහා ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත ඉතා නිවැරදි ප්‍රහාර එල්ල කිරීමට ඉන්දියාවට හැකි වූ බවත්, ත්‍රස්ත මධ්‍යස්ථාන විනාශ කර ඔවුන්ට අවසානයක් ගෙන ඒමට එමඟින් හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.
ආරක්ෂක ක්ෂේත්‍රයේ ඉන්දියාව සතු ස්වයං ශක්තිය මෙම මෙහෙයුමේ ඓතිහාසික සාර්ථකත්වයට මූලික වූ බවත්, යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව සතු ශක්තිය මත පදනම්ව රටේ ආරක්ෂක සූදානම පිළිබඳ ජනතාව තුළ පූර්ණ විශ්වාසයක් පවතින බවත් ඔහු අවධාරණය කළේය.