පැය 24ක් තුළ එකම රෝහලක 18ක් මිය යයි..
ඉන්දියාවේ තානේහි, කල්වා ප්‍රදේශයේ චත්‍රපති ශිවාජි මහාරාජ් රෝහලේ ගෙවුණු පැය 24 තුළ රෝගීන් 18 දෙනෙකු මිය ගොස් ඇති බව එම ප්‍රදේශයේ ප්‍රජා කොමසාරිස් අභිජිත් බංගර් ඊයේ (13) ප්‍රකාශ කළා.
මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයන් අතර කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමින් අට දෙනෙකු සිටින අතර, ඉන් හය දෙනෙකු තානේ නගරයේත්, සිවු දෙනෙකු කල්යාන්වල ද, තිදෙනෙකු සහපූර්හි ද, එක් අයෙකු බිවන්ඩි, උල්හාස්නගර් සහ ගෝවන්ඩි (මුම්බායි) ප්‍රදේශයේ ද පදිංචිකරුවන් වන අතර, එක් රෝගියකු වෙනත් ස්ථානයක සිට පැමිණ ඇති අතර තවත් එක් රෝගියකු මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පැවසෙන්නේ.
මිය ගිය අයගෙන් 12 දෙනෙකු වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.
එරට ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය ටනාජි සාවන්ත් සහ ප්‍රාදේශීය නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ගනේෂ් ගවුඩේ විසින් කලින් පවසා තිබුණේ මරණ සංඛ්‍යාව 17 ක් ලෙසයි.
මහ ඇමති එක්නාත් ෂින්ඩේ මෙම තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබා ගෙන ඇති බවත් සෞඛ්‍ය සේවා කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන විමර්ශන කමිටුවක් පිහිටුවීමට නියෝග කර ඇති බව ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් අදාළ ප්‍රදේශයේ ප්‍රජා කොමසාරිස් අභිජිත් බංගර් පවසා තිබේ.
මෙම රෝහලේදී මිය ගිය රෝගීන්ට වකුගඩු ගල්, නිදන්ගත අංශභාගය, වණ, නියුමෝනියාව, භූමිතෙල් විෂ වීම, සෙම් රෝග වැනි සංකූලතා තිබුණ බවයි පැවසෙන්නේ.
රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම පිළිබඳව මිය ගිය අයගේ ඥාතීන් විසින් අදාළ රෝහලට චෝදනා කරනවා.
එහෙත්, 500 දෙනෙකුගෙන් යුත් මුළු COVID කාර්ය මණ්ඩලයම මෙම රෝහලට මාරු කර ඇති අතර අතිරේක හෙද කාර්ය මණ්ඩලයක් ද පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රජා කොමසාරිස්වරයා පවසා තිබෙන්නේ, මිය ගිය රෝගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඉදිරි පැය 24 පුරාම මෙහි සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම මරණ පිළිබඳව විශ්ලේෂණය කරමින් සිටින අතර ප්‍රජා නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අදාළ වාර්තා පරීක්ෂා කිරීම සඳහා ව්ශාල අනුග්‍රහයක් දක්වන බව තානේ ප්‍රදේශයේ නාගරික සංස්ථා නිලධාරියකු ප්‍රකාශ කළා.
එම ප්‍රාන්තයේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ගනේෂ් ගවුඩේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, "පසුගිය පැය 24 තුළ මරණ 17 ක් පිළිබඳ තොරතුරු අප සතුව තිබෙනවා.
දිනකට සිදුවන මරණවල සාමාන්‍ය සංඛ්‍යාව හය සිට හත දක්වා බව අපට පැවසුවා.
රෝහල් කළමනාකාරීත්වය අපට කිව්වේ සමහර රෝගීන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට පැමිණ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි.
සමහර අය වයෝවෘද්ධ අය. මේ මරණ සංඛ්‍යාව වැඩි නිසා කිසිදු නරක සිදුවීමක් සිදු නොවීමට අපි රෝහලේ පොලිස් ආරක්ෂාව වැඩි කළා," යනුවෙන්.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය ටනාජි සාවන්ත් පැවසුවේ, "මෙම 17 දෙනාගෙන් 13 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ.
දින කිහිපයකට පෙර රෝගීන් පස් දෙනෙක් රෝහලේදී මිය ගොස් තිබෙනවා.
මේ පිළිබඳව දින දෙකක් තුළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රාන්ත රජය විසින් පීඨාධිපතිවරයාට දන්වා තිබෙනවා.
පීඨාධිපතිවරයාගේ වාර්තාවට අනුව ක්‍රියාමාර්ග ගන්නවා. මෙම රෝහල ප්‍රාන්ත වෛද්‍ය අධ්‍යාපන හා පර්යේෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබෙන රෝහලක්.
එහි අමාත්‍ය හසන් මුෂ්රිෆ් රෝහලට පැමිණ තිබෙනවා. ඔහු මේ පිළිබඳව සොයා බලමින් සිටිනවා," යනුවෙන්.
මහාරාෂ්ට්‍ර අමාත්‍ය සහ භාරතීය ජනතා පක්ෂ නායක ගිරීෂ් මහාජන් මෙම සිද්ධිය සම්බන්ධව පැවසුවේ 500 ක ධාරිතාවකින් යුත් රෝහලක එක් දිනක් තුළ "මරණ 16 ක්" සිදුවීම කනස්සල්ලට කරුණක් බවයි.
රෝහලට ගිය රාජ්‍ය ඇමතිනි Aditi Tatkare පවසා ඇත්තේ මෙම මරණ සිදුවීම ඉතා අවාසනාවන්ත දෙයක් බවත් එවැනි සිදුවීමක් නැවත සිදු නොවීමට මහාරාෂ්ට්‍ර රජය සෑම උත්සාහයක්ම ගන්නා බවත්.
මේ අතර ඇතැම් වෛද්‍යවරුන් ඩෙංගු රෝගයෙන් පෙළීම හේතුවෙන් මෙම රෝහල පවත්වාගෙන යාම අසීරු වී ඇති බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
