ඩොලර් බිලියන ගණන් වැය කරමින් ඉන්දීය හමුදාව මිසයිල මිලටගන්න සූදානම්
පාකිස්තානය සමඟ ඇති වූ ගැටුම්කාරී වාතාවරණයෙන් පසුව සිය හමුදා ශක්තිය නවීකරණය කිරීමේ පියවරක් ලෙස ඩොලර් බිලියන 25ක දැවැන්ත ආරක්ෂක මිලදී ගැනීම් සඳහා ඉන්දියාව අනුමැතිය ලබා දී තිබේ.
මෙම නව යෝජනාවට අනුව ප්‍රවාහන ගුවන් යානා, රුසියානු නිෂ්පාදිත S-400 මිසයිල පද්ධති සහ දුරස්ථව හැසිරවිය හැකි නවීන ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමට නියමිත බව සඳහන් වේ.
මෙම තීරණය ක්‍රියාත්මක වන්නේ ගුවන් හමුදාව සඳහා ප්‍රංශ 'රෆේල්' ප්‍රහාරක ජෙට් යානා සහ නාවික හමුදාව සඳහා බෝයිං P-8I නිරීක්ෂණ ගුවන් යානා මිලදී ගැනීමට පසුගිය මාසයේ අනුමත කළ ඩොලර් බිලියන 40ක ප්‍රතිපාදනවලට අමතරවය.
ඒ අනුව, මාර්තු 31 වනදායින් අවසන් වන මෙම මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාව රුපියල් ට්‍රිලියන 6.73ක් වටිනා ආරක්ෂක යෝජනා 55ක් අනුමත කර ඇති අතර තවත් ගිවිසුම් 503කට අත්සන් තබා ඇත.
මෙය ඉන්දීය ඉතිහාසයේ මූල්‍ය වර්ෂයක් තුළ සිදුකළ ඉහළම ආරක්ෂක මිලදී ගැනීම ලෙස සඳහන්. දශක ගණනාවක් තිස්සේ සෝවියට් යුගයේ අවි ආයුධ මත යැපුණු ඉන්දියාව, මේ වන විට ප්‍රංශය, ඊශ්‍රායලය, ඇමෙරිකාව සහ ජර්මනිය වැනි රටවලින් නවීන තාක්ෂණය ලබා ගැනීමට වැඩි වැඩියෙන් යොමු වෙමින් සිටියි.
එමෙන්ම මෑතක සිට විදේශීය හවුල්කරුවන් සමඟ එක්ව ඩ්‍රෝන යානා, ප්‍රහාරක ජෙට් සහ සබ්මැරීන සිය රට තුළම නිෂ්පාදනය කිරීමට ඉන්දියාව විශේෂ උනන්දුවක් දැක්වීම ද කැපී පෙනෙන ලක්ෂණයකි.