ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයගේ වැරදි තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න අපි ඒ අයව ආරක්ෂා කරන්නේ නෑ - ඉන්දික
හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ගේ සහ සාමාජිකයන්ගේ වැරදි තිබේ නම් අභූත චෝදනා නොකර නීතිය ක්‍රියාත්මක කරන්නැයි ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීයි.
එම අවස්ථාවේදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අපේ කණ්ඩායම නියෝජනය කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළ සංස්කෘතියක් යනුවෙන් හඳුන්වපු මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය මත හිඳිමිනුයි. එතුමා තමයි මේ රටේ තිස්අවුරුදු යුද්ධය නිමාකර ජනතා හදවත්වලට කිඳාබැහැපු එකම නායකයා. ඒකයි අද තිබෙන ගෞරවය, ආදරය හැම කෙනාගේම හදවතේ. මේ බලය අරගෙන තිබෙන්නේ බොරු කියලා. අධිවේගි මාර්ග, නෙලුම් කුලුන ගැන බොරු කිව්වා. අද හැම එකක්ම දවස ගණනේ ආදායම් උපයනවා කියා අද මේ වත්මන් ආණ්ඩුවේ පිරිසගේ කටින්ම කියන්න සිදුවෙලා තිබෙනවා.ඒකයි ස්වභාවධර්මයට පිටුපාන්න බැහැ කියන්නේ. ස්වභාවධර්මය අවශ්‍ය වෙලාවට නැඟී සිටිනවා. ඒවට පිළිතුරු දෙනවා. ඒ නිසා කරුණාකර ජනතා ගෞරවය දිනාගෙන තිබෙන මහින්ද රාජපක්ෂ මහතාට මේ අභූත චෝදනා ගේන්න උත්සාහ කරන්න එපා. යම් යම් අයගේ ගැටලු තිබෙනවා නම් නීති ක්‍රියාත්මක කරන්න. අපි පක්ෂයේ විනය ක්‍රියාත්මක කරනවා. ඔබලා නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ වැරද්දක් කර තිබෙන මනුස්සයෙක් ඉන්නවානම් අපි ඒ අය කිසි ලෙසකින් ආරක්ෂා කරන්නේ නෑ.” යනුවෙන්.