රටේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට නව ශක්තියක් - ඩිප්ලෝමාධාරීන් 952ක් සෞඛ්‍ය පද්ධතියට එක්වෙයි
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි අභියෝග ජයග්‍රහණය සඳහා දක්ෂ හා කැපවීමෙන් යුත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සේවය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පරිපූරක සෞඛ්‍ය සේවා සහ අතුරු වෛද්‍ය ක්ෂේත්‍රවල වෘත්තිකයන් 952කට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්‍රදානය කිරීම ඊයේ (19) සිදු කර තිබේ.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය පැවැත්විණි.
එය ප්‍රධාන සැසි දෙකකින් සමන්විත විය. පළමු සැසියේදී මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන් 449කට සහ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් 77කට ලෙස වෘත්තිකයන් 526කට ඩිප්ලෝමා පිරිනැමීම සිදු විය.
දෙවන සැසියේදී පාසල් දන්ත චිකිත්සක සේවා 39කට, ඖෂධවේදීන් 149කට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 238කට ලෙස වෘත්තිකයන් 426කට උසස් ඩිප්ලෝමා ප්‍රදානය කරන ලදී. උත්සවය අමතමින් අමාත්‍යවරයා පැවසුවේ, මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බවත්, ඒ සඳහා දක්ෂ හා කැපවූ වෘත්තිකයන්ගේ සේවය අත්‍යවශ්‍ය බවත්ය.
මාතෘ හා ළමා සෞඛ්‍ය ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජාත්‍යන්තර කීර්තිය ඉදිරියට ගෙන යාම මෙම නව වෘත්තිකයන්ගේ වගකීම බව ද ඔහු අවධාරණය කළේය.
ඩිප්ලෝමාධාරීන් ජාතික සෞඛ්‍ය පද්ධතියේ "පෙරගමන්කරුවන්" ලෙස හැඳින්වූ අමාත්‍යවරයා, ඔවුන්ට ජාතික වගකීමක් භාරගන්නා බවත්, යහපත් විනය, නිහතමානීකම සහ කැපවීමෙන් යුතුව මහජනතාවට සේවය කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, සෞඛ්‍ය සේවාව නවීකරණය කිරීම, ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම සහ ගුණාත්මක සේවාව සෑම පුරවැසියෙකුටම සමීප කිරීම සඳහා රජය විශේෂ ආයෝජනයක් සිදු කරන බවයි.
මෙම වසරේදීම මහජන සෞඛ්‍ය සේවිකාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීමටත් පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.