ඉදල්ගස් හින්නේ සිදුවීම පසු පස භයානක මැර ක්‍රියාවක්?... වීඩියෝ සහිතයි.. (VIDEO )
ඉදල්ගස්හින්න, තොටුපොළකන්ද ෆයිනස් වන වගාව ප්‍රදේශයේ කඳවුරු බැඳසිටි සංචාරකයන් එම ස්ථානයෙන් පළවාහැරියේ තම නිලධාරීන් නොවන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ආයතනයේ නම භාවිත කරමින් කිසියම් කණ්ඩායමක් සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳ සිය වැලිමඩ කාර්යාලය මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ සහ ඔහිය දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති ඉදල්ගස්හින්න, සංචාරක ආකර්ෂණීය ස්ථානයකි. මෙම පරිසරයේ පහස විඳගැනීමට නන් දෙසින් බොහෝදෙනා පැමිණෙන අතර ඇතැමුන් එම ප්‍රදේශයේ කඳවුරු බැඳ එහි රැය ගතකිරීමට ද පුරුදු වී සිටී. ඒ ඉදල්ගස්හින්න, තොටුපොලකන්ද ෆයිනස් වන වගාව ප්‍රදේශයේය.
පසුගිය අගෝස්තු 11 වැනිදා රාත්‍රියේ එලෙස කඳවුරු බැඳ සිටි පිරිසක් මුහුණදුන් සිද්ධියක් රට තුළ මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු කර තිබේ. ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බව පවසමින් යම් කණ්ඩායමක්, එහි කඳවුරු බැඳ සිටින පිරිස් බලහත්කාරයෙන් ඉන් ඉවත් කිරීමේ සිදුවීමකි. ඊට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බව පැවසූ පිරිස සංචාරකයන්ට සිය රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් නොකිරීමත් විමතියට කරුණකි. ඛේදනීය කරුණ නම්, වන සංරක්ෂණ නිලධාරීන් බව පැවසූ ඔවුන්, කඳවුරු බැඳ සිටි පිරිසගේ කූඩාරම් පමණක් නොව වාද්‍ය භාණ්ඩ ඇතුළු පෞද්ගලික බඩු බාහිරාදිය ද රැගෙන ගොස් තිබීමය. කඳවුරුවලින් බලහත්කාරයෙන් ඉවත් කිරීමෙන් පසු කරකියාගත හැකි දෙයක් නොවූ සංචාරක පිරිස රැය ගත කර තිබුණේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේය. එම අත්දැකීමට මුහුණ දුන් පිරිස ඇතුළු බොහෝදෙනෙක් සමාජ මාධ්‍යවල සටහන් කර තිබුණේ මෙම ප්‍රදේශයේ සංචාරයට නොයන ලෙසය.
මෙලෙස එදින රාත්‍රියේ සංචාරකයන් බලහත්කාරයෙන් ඉවත් කෙරුණේ වන සංරක්ෂණ නිලධාරීන් විසින් ද? ඒ පිළිබඳ එම ප්‍රදේශය භාර වැලිමඩ කලාපයේ අඩවි වන නිලධාරීන්ගෙන් "අද දෙරණ" විමසීය. එහිදී ඔවුන් කියා සිටියේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සිද්ධියට අදාළ දින තම නිලධාරීන් කිසිදු වැටලීමක් සිදුකර නොමැති බවය. මෙවන් පසුබිමක මෙම ප්‍රදේශයේ කඳවුරු බැඳීම සඳහා අද පැමිණි තවත් පිරිසක් නැවත එම භූමියෙන් ඉවත්ව යන අයුරු දක්නට ලැබුණි. මේ පිළිබඳ ද අප කළ විමසීමේදී වැලිමඩ කලාපයේ අඩවි වන නිලධාරීන් පැවසුවේ ඉදල්ගස්හින්න, තොටුපොලකන්ද රක්ෂිත වනාන්තරයට අයත් ෆයිනස් වන වගාව ප්‍රදේශයේ කිසිඳු ලෙසකින් කඳවුරු බැඳීමක් හෝ ඊට ඇතුළු වීමක් සිදුකළ නොහැකි බවය.
එය වන සංරක්ෂණ ආඥා පනතට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ඔවුන් පවසයි. එබැවින් ඉදල්ගස්හින්න, තොටුපොළකන්ද රක්ෂිත වනාන්තරයට අයත් ෆයිනස් වන වගාව ප්‍රදේශයේ කඳවුරු බැඳීම සඳහා නොපැමිණෙන ලෙස ද වන සංරක්ෂණ නිලධාරීන් සංචාරකයන්ට දැනුම් දෙයි.