කුඩා දරුවෙකුට බිළිදියක් අතට දී පළා ගිය පාපතර පියා..ප්

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 12, 2023 05:59 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හොරණ ප්‍රදේශයෙන් මාස 9ක් වයසැති බිළිඳියක් වයස අවුරුදු 12ක දරුවෙකුගේ අතට දී පළාගිය පියෙකු පිළිබඳ පුවතක් වාර්තා විය.  පැනගිය සැකකාර පියා සොයා මේ වනවිට විමර්ශන සිදුකරන බවයි පොලීසිය පවසන්නේ.

ඊයේ (11) පෙරවරු 10ට පමණ හොරණ, ගලේඒදණ්ඩ ප්‍රදේශයේ නිවසකට කුඩා බිළිඳෙකු රැගෙන පුද්ගලයෙකු පැමිණ තිබුණි. ඒ අවස්ථාවේ වැඩිහිටියන් රැකියා සඳහා පිටත්ව ගොස් තිබූ අතර නිවසේ සිට තිබුණේ, වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු පමණි.

එහිදී, නිවසට පැමිණි ආගන්තුකයා, මාස 9ක් වයසැති බිළිඳිය 12 හැවිරිදි පිරිමි දරුවා අතට දී එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණේ, තමා ඉක්මණින් පැමිණෙන බව පවසමිනි. නමුත් පස්වරුව වනවිටත් ඔහු තම දරුවා රැගෙන යාමට යළි එම නිවස වෙත පැමිණ තිබුණේ නැත.

12 හැවිරිදි දරුවා ,පැය 6කට අධික කාලයක් කිසිඳු ආහාරයක් නොමැතිව හඬමින් සිටි බිළිඳිය නලවාගැනීමට ජලය පමණක් ලබාදී තිබුණි.

"උදේ 10ට විතර දීලා ගිහින් තියෙන්නේ. වතුරත් නෑ, මුකුත් නෑ එයා ඇඬුවා ලු, චූටි එක්කෙනා අතේ තියන් ඉඳලා" යනුවෙන් 12 හැවිරිදි දරුවාගේ මව පැවසුවාය.

පසුව 12 හැවිරිදි දරුවාගේ මව මේ පිළිබඳව හොරණ පොලීසියට දැනුම් දී ඇත. ඒ අනුව, බිළිඳිය සිය භාරයට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

පසුව පොලීසිය විසින් බිළිඳිය හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන එන්නේ, සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහාය. බිළිඳිය දමා ගිය පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ මිත්තණිය බිළිඳා දමා ගිය නිවසට මදක් ඈතින් පිහිටි නිවසක ජීවත් වන බවය.

ඒ අනුව, මිත්තණියගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තමා කිසිදු දවසක මේ බිළිඳිය දැක නොතිබූ බවත් ඇය පොලීසියට ප්‍රකාශ කර තිබේ. පොලීසිය සැක පළකරන්නේ, බිළිඳියගේ මව රැකියාවට ගිය අවස්ථාවේදී සැකකරු මිත්තණියගේ නිවස වෙත පැමිණෙන්නට ඇති බවය.

ඇය එහි නොසිටි නිසා එම බිළිඳිය වෙනත් නිවසක දරුවෙකුට භාරදී යන්නට ඇති බවද පොලීසිය සැක පළකරයි. අඟුරුවාතොට, නාර්තුපාන ප්‍රදේශයේ පදිංචි බිළිඳියගේ මවට ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසු ඇය ඊයේ (11) රාත්‍රියේ හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණ තිබුණි.

ඒ අනුව, පොලීසිය දරුවා ඔහුගේ මවට භාරදීමට කටයුතු කළේය. හොරණ පොලීසිය සඳහන් කළේ සැකකරු මීට දින කිහිපයකට ඉහතදී බිරිඳගේ මවටද පහරදී ඇති අතර එම කාන්තාව මේ වන විට රෝහල්ගතව සිටින බවය. එම සිද්ධිය සම්බන්ධයෙන් ද තවත් පොලිස් ස්ථානයකින් සැකකරු සොයමින් සිටින බව හොරණ පොලීසිය ප්‍රකාශ කළේය.

ReeCha