හෝමගම කළඹමින් ඇළ මාර්ගයකින් මතු වූ මළ සිරුර - අනන්‍යතාවය හඳුනා ගැනීමට බැරි තරම් විකෘති වෙලා
හෝමගම, පිටිපන, ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබියදී ඝාතනය කරන ලදැයි සැක පළ කරන පුද්ගල මළ සිරුරක් අද (16) දින අලුයම සොයාගත් බව හෝමගම පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව අදාළ ඇළ මාර්ගය අසල පිහිටි වෙන්දේසි ඉඩමක් තුළදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි. එසේම පොලීසිය විසින් එම වෙන්දේසි ඉඩම තුළ තිබී මියගිය පුද්ගලයාගේ බවට සැක කෙරෙන පාවහන් යුගලක් සහ රුපියල් 20ක මුදල් නෝට්ටුවක් ද සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ මුහුණ සතුන් විසින් කා දැමීම නිසා හඳුනා ගැනීමට නොහැකි වන අන්දමින් විකෘති වී ඇති බව ද පොලීසිය සඳහන් කළා.
මේ අතර හෝමගම, පිටිපන, කදනවත්ත, සමගි මාවතේ පදිංචි අයෙකු ඊයේ (15) රාත්‍රියේ සිට අතුරුදන්ව ඇති බවට මීගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙන අතර එම පැමිණිල්ලේ සඳහන් තොරතුරු සහ ඝාතනයට ලක්ව සිටින පුද්ගලයාගේ තොරතුරු බොහෝ දුරට සමාන බව පොලීසිය ප්‍රකාශ කරයි.
එසේම අතුරුදන් වී ඇති පුද්ගලයා ඇඟලුම් ආයතනයක රැකියාවක නිරත වන අයෙකු බවත් ඔහු අර්ධ කාලීනව ඇප් කුලී රථ රියදුරෙකු වශයෙන් සේවය කර ඇති බවත් හෙළිදරව් වී තිබෙනවා.
කෙසේ වුවද ඊයේ රාත්‍රී 7.00ට පමණ ඔහු පුද්ගලයෙකු යතුරුපැදියෙන් ප්‍රවාහනය කිරීමට නිවසින් පිටත්ව ගොස් ඇති බව පවසයි. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන හෝමගම පොලිසිය විසින් ආරම්භ කර ඇත.