"..අපි දෙන්නා කතාබහ කළේ නැති වුණා ට ඇස්වලින් කතා කළා..හැමෝම විරුද්ද වෙද්දී අපි විවාහ උනා..වෙන් වුණේ හිතේ ලොකු දුකක් තියාගෙන.."දිවිතුරාහී අගස්ති - හෙක්ටර් ඩයස්ගේ ඔබ නොදත් තතු ..(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress
By Sewvandhi Aug 13, 2022 04:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සැක්සෆෝනය රසට වයන ඔහු ගී ගයන්නත් දක්ෂයෙක්. මේ දිනවල විකාශය වෙන දිවිතුරා නාට්‍යයේ ප්‍රධාන භූමිකා වූ අගස්තිට පණ දෙන ඔහු නමින් හෙක්ටර් ඩයස්. ඔහුගේ ජීවන ගමනට අත්වැලක් වූ ඈ පාටී ඩයස්. මේ දෙන්නා දරුවන් තිදෙනෙකුගේ ආදරනීය දෙමාපියන්. මේ ඔවුන් දෙදෙනා සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක්..

කැමරාවත් දැන් හුරුයි නේද හෙක්ටර්..?

මුල්ම දවස්වලට වඩා දැන් නම් රඟපෑම ටිකක් අල්ලාගෙන ඉන්නවා කියලා ලැබෙන ප්‍රතිචාර වලින් තේරෙනවා. දිවිතුරා නාට්‍යයට ආරාධනා කළාම මම කල් ගත්තා මේ වැඩේ මට කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා. හැමෝම කිව්වේ ලොකු දෙයක් කරන්න නැහැ නැචුරල් විදිහට කරන්න කියලා. කණ්ඩායමේ හැමෝම උදව් කළා. නමුත් මුලදි ලොකු අපහසුවක් දැනුණා.

ඒ අපහසුව නිසා අතරමඟදි නාට්‍යයෙන් ඉවත් වෙන්න හිතුණේ නැද්ද..?

මම වැඩක් භාර ගත්තම අවසානය දක්වා කරනවා. ඒ නිසා කොයිතරම් අපහසුතා දැනුණත් ඒක අල්ල ගත්තා මිසක් අත අරින්න හිතුවේ නැහැ.

දැන් හෙක්ටර් ට වඩා අගස්ති ජනප්‍රියයි..?

මම අවුරුදු 14ක කාලයක් මේරියන්ස් සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියෙක් හැටියට කටයුතු කළා. ඒ කාලේ ගීත ගයන්නවත් අවස්ථා හිමි වුණේ නැහැ. කැපීපෙනෙන්නේ නායකයා නේ. කොහොම නමුත් මම හිතනවා රංගනය එක්ක විශාල ප්‍රේක්ෂක පිරිසක් මට ගොඩ නැඟුණා කියලා. ඉස්සරට වඩා ජනතාවගේ වැඩි ආදරයක් හිමි වෙනවා. අගස්ති ජනප්‍රියයි. ඒ ආදරේ හිමි වෙන්නේ වයස් භේදයකින් තොරව වීම සතුටට කරුණක්.

සුදු හිසකෙස් ඩයි කළ ඇතැම් අය ඔබව අනුකරණය කරමින් රැවුල කොණ්ඩ විලාසිතා වෙනස් කරගත්තා...?

මට ප්‍රතිචාර වැඩිවෙන්න පෙනුමත් හේතුවක් වෙන්න ඇති. හැඩට, පෙනුමත් එකතු වෙලා රංගනයට අලුත් මුහුණක් එකතු වෙද්දී ඒ ප්‍රතිචාර ගොඩ නැඟෙන්න ඇති. කොණ්ඩය හා රැවුල ඩයි නොකර සැබෑ පෙනුමෙන් ඉන්න සමහර අය උත්සාහ ගත්තා. ඒ ගැනත් සතුටුයි.

දිගටම දැන් රඟපාන්න හිතනවද..?

ඒ ගැන නම් තව හිතන්න ඕන. රංගන ශිල්පියෙක් කියන්නේ ලොකු කාලයක් ගත කරන්න ඕන. මම ගායකයෙක්. සංගිත කණ්ඩායමේ වැඩත් තියෙනවා. අගස්ති කියන චරිතයට මේ තරම් ප්‍රතිචාර හිමි වුණාට ඊළඟට කරන චරිතය ජනතාව වැලඳ ගනියිද දන්නේ නැහැ. රංගනය මගේ ජීවිතයට ආලෝකයක් ගෙනාවා. ඒ වුණත් ඒ ගැන හිතලා බලන්න ඕන.

කොහොමද සුරූපී බිරිඳගෙන් ලැබෙන සහය..?

පාටී කියන්නේ මට ලැබුණු ශක්තිමත් ගැහැනියක්. ගැළපෙනම කෙනා තෝරා ගත්තා කියලා හිතනවා. එයා මුණගැහෙන්න කලින් ඕන තරම් කෙල්ලෝ කතාබහ කරලා තියෙනවා. නමුත් පාටී කියන්නේ මගේ ජීවිතේ වෙනස් කළ කෙනෙක්. අවුරුදු 17ක් අපි ප්‍රශ්න හැලහැප්පීම් එක්ක සතුටින් ජීවත් වෙනවා. වරදක් කළත් සමාව දීලා පවුල් ජීවිතේ ගෙනියන්න හයියක් වුණු කෙනෙක්. ඒක මගේ වාසනාව.

ඇය වැඩිපුර කාලයක් හිටියේ ප්‍රංශයේ, එහේ කෑම බීම මෙහේ හදලා දෙනවද..?

මෙහේ හිටියත් එයා වැඩිපුර හදන්නේ ප්‍රංශ කෑම බීම තමයි. එක එක ජාතියේ කොක්ටේල් හදන්න නම් ඉතා දක්ෂයි. හදන කෑමත් හරිම රසයි. ඇත්තම කිව්වොත් තරුපහේ හෝටල් පරාදයි.

ඇත්තද පාටී, තවමත් හිත තියෙන්නේ ප්‍රංශයේ ද...?

හෙක්ටර් එක්ක විවාහ වුණා ට පස්සේ රටවල් දෙකේම ඉන්න සිදු වුණා. තවමත් එහෙම තමයි. දෙරට ම පුරුදුයි. රටවල් දෙකේම හොඳ නරක තියෙනවා. ඉතිං ඒ දේවල් එක්ක ජීවිතේ ගෙනියනවා. ප්‍රංශයේ හිටියත් මම ලංකාවට වසරකට පස් හයවතාවක් ඇවිත් යනවා. හෙක්ටත් එහෙමයි. දරුවන්ගේ නිවාඩුවට මාස දෙකහාමාරක් මෙහේ ගත කළා. දැන් එයාලව දාලා එන්න ළඟදීම මම යනවා.

දරුවෝ ගැන කිව්වොත්..?

ලොකු පුතා දෙවීන්. වයස 17ක් වෙනවා. දෙවැන්නා දුව. ඩියෝනා. 15යි වයස. අනිත් පුතා ඩෙලෝන්. වයස 12යි. මෙයාලා ඉගෙන ගන්නේ ජීවත් වෙන්නේ ප්‍රංශයේ. තුන් දෙනාම සංගීතය ට දක්ෂයි. දුව එහේ රියැලිටි ෂෝ එකකටත් තේරිලා ඉන්නවා.

දෙමාපියන් නැතුව වැඩි කාලයක් ඉන්න එක ගැන දරුවන් චෝදනා කරන්නේ නැද්ද..?

කවදාවත් නැහැ. එයාලා හොඳින් තේරුම් අරන් ඉන්නවා මම එයාගේ තාත්තා වෙනුවෙන් වගේම එයාලා වෙනුවෙනුත් තමයි මේ වෙහෙසෙන්නේ කියලා. තාත්තාගේ රැකියාව එයාලා තේරුම් අරන් ඉන්නේ. මම හෙක්ටර් එක්ක ෂෝ වලට ගියත් දරුවන් ගේ වැඩ ඔන්ලයින් හොයලා බලලා කරන්න ඕන දේ කියලා දෙනවා. දුව නම් ආසයි ලංකාවේ ජීවත් වෙන්න. ඉගෙන ගෙන ඉවර වුණාට පස්සේ එනවා කියනවා. අපි දෙන්නත් මැරෙනකල්ම දෙපැත්තේම ජීවත් වෙන්න හිතාගෙන ඉන්නේ.

හෙක්ටර් ව මුලින්ම දකින්නෙත් ප්‍රංශයේදී, එතකොට ඔබට වයස 16ක්..?

එයා පැරිස් එනවා මේරියන්ස් සංගිත කණ්ඩායම එක්ක ෂෝ එකකට. අපිත් ඒක බලන්න ගියා. එතකොට මට වයස 16යි. චාන්ස් එකක් ලැබුණා ආව කලාකරුවන් එක්ක ෆොටෝස් ගන්න. අපිත් ෆොටෝස් ගත්තා. ඒ වෙලාවේ හෙක්ටර් මාව දැකලා හිනා වුණා. මාත් හිනා වෙලා ආවා. ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ ආයෙත් ෂෝ එකකට පැරිස් ආවා. එදා මට ලොකු ළෙංගතුකමක් දැනුණා. අපි දෙන්නා කතාබහ කළේ නැති වුණා ට ඇස්වලින් කතා කළා. කතා බහකින් තොරව වෙන් වුණේ හිතේ ලොකු දුකක් තියාගෙන. ඊට පස්සේ මට අවශ්‍ය වුණා හෙක්ටර් එක්ක කතා කරන්න. මම එයාගේ නම්බර් එක හොයාගෙන කෝල් කළා. එදා ඇති වුණු කතාබහ තමයි තවමත් තියෙන්නේ.

ඔබේ පදිංචිය පැරිස් වෙද්දී හෙක්ටර් එක්ක ගනුදෙනුවක් තියා ගන්නවාට දෙමාපියන් අකමැති වුණේ නැද්ද..?

මගේ තාත්තා ගායකයෙක් නිසා එයාගේ කාර්යබහුලකම අම්මා දැකලා තිබ්බා. ඒ නිසා අම්මා කිව්වා හෙක්ටර් ව විවාහ කරගත්තොත් ජීවිතයක් නැති වෙයි කියලා. අපේ හමෝම ඒ වෙද්දී හිටියේ ප්‍රංශයේ. ලංකාවේ කවුරුත් නැහැ. ඒ නිසා අම්මා විරුද්ධ වුණා. නමුත් ඒ වෙද්දී මම තනි තීරණ ගන්න වයසක හිටියේ. මම තීරණය කළා හෙක්ටර් එක්ක විවාහ වෙනවා කියලා. අපි 1998 දී මුලින්ම දැකලා ආදරේ කරලා 2005 දී විවාහ වුණා. දරුවෝ තුන් දෙනා එක ළඟ හම්බුණේ. දරුවෝ ලංකාවේ ඉපදුනාට පස්සේ එයාලා එක්ක මම සැරින් සැරේට ප්‍රංශයට ගියා. විවාහ වෙන්න කලින් මම ජොබ් එකකුත් කළා. මම විවාහ වුණා පස්සේ ලංකාවට එනවා. ඒ එද්දී ලංකාවට ඇවිත් තිබ්බේ දෙතුන් වතාවක්. ගොඩාක් අමාරු වුණා මෙහේ ජීවිතේට හුරු වෙන්න. හෙක්ටර් බිසී නිසා හැම දෙයක්ම අන්තිමට මට තනියම කරගන්න වුණා. මම ඒකටත් පුරුදු වුණා. ඒ යුගය නම් මට හරිම දුෂ්කර කාලයක්.

විවාහ වෙලා හිටියට බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ හෙක්ටර් විවාහකයෙක් කියලා ..?

විවාහ වෙද්දී නම් පුවත්පත්වල ගියා. ඒ කාලේ ෂෝශල් මිඩියා නොතිබ්බ නිසා සමහර අය නොදැන ඉන්න ඇති. ඒ කාලේ අපිත් බිසී ෆේස් බුක් එන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ. ඒ වුණත් දැන් නම් නොදන්න කෙනෙක් නැහැ එයා විවාහ වෙලා කියලා රංගනයත් එක්ක හෙක්ටර් දැන් අතිශය ජනප්‍රිය චරිතයක්. කොහොමද ගැහැනු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර..? බොරු කියන්න ඕන නැහැ නේ ගැහැනු ළමයින්ගෙන් විතරක් නෙමෙයි පොඩි ළමයි පවා හෙක්ටර් ට ආදරේයි. එයාට කෝල්ස් එද්දී පවා මම ආසාවෙන් අහගෙන ඉන්නවා රසිකයින් කතා කරන විදිහ. හරි සතුටුයි ඒ ගැන...

 සම්පූර්ණ උපුටා ගැනීම, සිළුමිණ "රසඳුන" පුවත්පතෙන්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGallery