හටන්-නුවරඑළිය මාර්ගයේ බරපතළ අනතුරක් - තරුණයින් 4 දෙනෙක් තුවාලයි
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, කොටගල උමං මාර්ගය ආසන්නයේදී අද (ජූලි 17) උදෑසන 8:00ට පමණ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයන් සිව්දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
මෙම අනතුරට ලක්වූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිරිස නිට්ටඹුවේ සිට සංචාරයක් සඳහා නුවරඑළිය බලා යමින් සිට ඇති බව වාර්තා වේ. ඔවුන් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් පරීක්ෂණවලට අනුව, නුවරඑළියේ සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ මෝටර් රථයේ රියදුරුට නින්ද යෑම මෙම අනතුරට මූලික හේතුව බවට පූර්ව නිගමනයක් ලබා ඇත. රියදුරුගේ අනවධානය හේතුවෙන් ඔහුගේ රථය මාර්ගයේ වම් පසට ගොස් එම මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථය සමඟ ගැටී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොටගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, රියදුරුගේ තත්ත්වය සහ අනතුරට හේතුවූ වෙනත් සාධක පිළිබඳව සවිස්තරාත්මකව පරීක්ෂා කරමින් පවතී. මේ සම්බන්ධයෙන් රියදුරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද පොලිසිය සූදානමින් සිටී.
මාර්ග ආරක්ෂාව පිළිබඳව ජනතාව වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙසත්, විශේෂයෙන් දිගු දුර ගමන් බිමන් යන රියදුරන් නිසි විවේකයක් ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳවත් පොලිසිය මහජනතාවට අවධාරණය කර ඇත.
