විදෙස් සංචාරකයෝ ලක්ෂ 18 පනී

Report

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 18 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 22 වැනිදා දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 1,813,484 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

ඒ අතරින් ඔක්තෝබර් මාසයේ පළමු දින 22 තුළ පමණක් සංචාරකයින් 119,805 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීම විශේෂත්වයකි.

සංචාරකයින් වැඩියෙන්ම එන්නේ ඉන්දියාවෙන්

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවෙයි. ඒ අනුව, එම කාලසීමාව තුළ ඉන්දීය සංචාරකයින් 482,944 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 169,405 දෙනෙකු ද, චීනයෙන් 120,980 දෙනෙකු ද, ජර්මනියෙන් 102,920 දෙනෙකු ද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එම දත්ත පෙන්වා දෙයි.  

ඔක්තෝබර් මාසයේත් ඉන්දියාව පෙරමුණේ

ඔක්තෝබර් 1 වැනිදා සිට 22 වැනිදා දක්වා කාලය තුළ ද ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම කාලය තුළ පමණක් ඉන්දීය සංචාරකයින් 45,530 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවල සඳහන් වේ. මෙම සංඛ්‍යාලේඛන අනුව, ශ්‍රී ලංකාව වෙත විදෙස් සංචාරකයින්ගේ පැමිණීම අඛණ්ඩව ඉහළ මට්ටමක පවතින බව පැහැදිලි වේ.