මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි සිව්දරු මවක් අත්අඩංගුවට
හැටන් ප්‍රදේශයට වසර ගණනාවක් තිස්සේ මත්ද්‍රව්‍ය අලෙවිසැලක් ලෙස ක්‍රියාත්මක වූ කාන්තාවක් හැටන් පොලිස් කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි සිව් දරු මවකි.
ඇය කාලයක් තිස්සේ ගල්කිස්ස සිට හැටන් දක්වා මත්ද්‍රව්‍ය රැගෙන එමින් එහි අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි බවට හැටන් කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලැබුණු තොරතුරු මත මෙම මෙහෙයුම සිදු කෙරිණි.
ඉකුත් මාර්තු 03 වැනිදා කොළඹ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටියදී හැටන් මල්ලිඅප්පු මංසන්ධියේදී හැටන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11,850ක් සොයා ගෙන තිබේ.
මෙම සැකකාරිය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පසුගිය මාර්තු 04 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු රදවා ගැනීමේ නියෝග මත විමර්ශන කටයුතු සිදු කෙරිණි.
අද (09) යළිත් හැටන් දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
විමර්ශනවලදී සැකකාරියගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගත් තරුණයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
සැකකාර කාන්තාව වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ හැටන් ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙන එමින් එක මත්ද්‍රව්‍ය පැකට්ටුවක් රුපියල් 5,000ක මිලකට අලෙවි කර ඇති බවටද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.