හෙට රටේම සිදුවන දේ මෙන්න..

By Sithumi May 05, 2022 03:44 PM GMT
Sithumi

Sithumi

Report

හෙට (06) ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාලයට සහය දෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෘත්තීය සමිති සියල්ල මෙතෙක් ලිඛිතව හෝ වාචිකව දැනුම්දී නොමැති බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණී සෙනෙවිරත්න පවසනවා. ඔහු කියා සිටියේ ඒ හේතුවෙන් හෙට දිනයට නියමිත දෛනික දුම්රිය ගමන්වාර 275 අවලංගු කිරීමකින් තොරව ධාවනයට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය සඳහා සහාය දක්වමින් අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි. කෙසේ වෙතත්, පෞද්ගලික බස් සංගම් පවසන්නේ තමන් ඊට සහය පළ කරමින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බවයි.

එහෙත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට කටයුතු කරන බවයි එහි සභාපති කිංස්ලි රණවක අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. මේ අතර, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කියා සිටියේ හෙට පැවැත්වෙන හර්තාල් ක්‍රියාමාර්ගයට වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවක් සහය පළ කරන බවයි. ගුරු - විදුහල්පති හා ගුරු උපදේශකවරුන් ද මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව අද පැවති මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ කියා සිටියේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා අන්තවාදී ගුරු විදුහල්පති සංගම් රාජ්‍ය විරෝධී වර්ජනයකට යොමුව ඇති බවයි. ඒ හේතුවෙන් තම සංගමයේ කිසිදු සහයෝගයක් ඊට ලබා නොදෙන බවයි ඇය සඳහන් කළේ. සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් ඊයේ (04) මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාසල් විභාග පැවැත්වෙන බැවින් තම සංගමය වර්ජනයට එක් නොවන බවයි.

එහෙත්, වර්ජනයට සහය පළ කරමින් කළු කොඩියක් සහිත පාසල් ප්‍රවාහන සේවා හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ද ඔහු සඳහන් කළා. ජල සම්පාදන සේවක සංගමයේ ලේකම් උපාලි රත්නායක ද අද පැවති මාධ්‍ය හමුවකදී වර්ජන ක්‍රියාමාර්ගයට තම වෘත්තීය සමිති ද සහභාගි වන බව ප්‍රකාශ කළා. එමෙන්ම රජයේ හා පෞද්ගලික බැංකු හර්තාල් ව්‍යාපාරයට සහය දක්වන බවයි ලංකා බැංකු සේවකයින්ගේ සංගමය කියා සිටියේ. 

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ සියලු වෘත්තීය සමිති හෙට පැවැත්වෙන හර්තාල් හා වර්ජන ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව එම පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. මේ අතර, හෙට පැවැත්වෙන වර්ජන හා හර්තාල් ක්‍රියාමාර්ගයට සහය පළ නොකරන බව පළාත් සභා හා පළාත් පාලන සේවක සංගමය සඳහන් කළා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ සම්බන්ධීකරණ ලේකම් එස්.ඒ. ආනන්ද කියා සිටියේ සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් නොකර තම සංගමය හෙට රාජකාරිවල නිරත වන බවයි. මේ අතර, ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙසට බලකරමින් ගාලුමුවදොර ආරම්භ කළ විරෝධතාව අද 27 වන දිනටත් ක්‍රියාත්මකයි.

එම විරෝධතාවයට සහාය පළ අද පස්වරුවේ මීගමුවේ ධීවරයින් පිරිසක් කරමින් කොටුව දුම්රියපොල ඉදිරිපිට සිට පාගමනින් ගාලුමුවදොර වෙත පැමිණියා. මේ අතර, අධිකරණ නියෝග මත ඊයේ අරලියගහ මන්දිරය ඉදිරිපිටින් ඉවත් වූ විරෝධතාකරුවන් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙස සිට යළි සිය විරෝධතාව ආරම්භ කර ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now