දිට්වා නිසා හානි වූ පාසල් යළි ගොඩනැගීමට සහ වතු ප්‍රදේශවල ගුරු හිඟය විසඳීමට පියවර ගන්නා බව හරිනි අමරසුරිය කියයි
දිට්වා ආපදාව හේතුවෙන් සම්පූර්ණයෙන් හානි වූ වතු පාසල් ගොඩනැගීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය උපදෙස් ලබාදී තිබේ.
අයවැය ප්‍රතිපාදන මඟින් මේ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බැවින්, පාසල් සඳහා ඉඩම් වෙන් කිරීම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නිර්ණායක අනුව භූමියේ සුදුසුකම තහවුරු කිරීම, ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම සහ තක්සේරු කටයුතු කඩිනමින් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ වතු පාසල් සංවර්ධනය පිළිබඳව 2026 ජූලි 23 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගි වූ මෙම සාකච්ඡාවේදී වතු පාසල්වල ඉඩම් අයිතිය, ඉඩම් යෝග්‍යතාව සහ ආපදාවෙන් හානි වූ පාසල් නැවත ඉදිකිරීම පිළිබඳව අවධානය යොමු විය.
දිට්වා ආපදාවෙන් සම්පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ පාසල් සම්බන්ධ තොරතුරු රැස් කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවීම සඳහා සෑම පළාතකටම නිලධාරියෙකු බැගින් පත් කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
වතු ප්‍රදේශවල පවතින ගුරු හිඟය විසඳීම සඳහා මෙම වසරේ සිදුකරන ගුරු බඳවා ගැනීම්වලදී වැඩි අවධානයක් යොමු කරන බවද ඇය සඳහන් කළාය.
ගුරු පුරප්පාඩු සම්පූර්ණ කරන තෙක් සුහුරු පුවරු සහ සම්බන්ධිත පන්ති කාමර ක්‍රමවේද භාවිත කරමින් අධ්‍යාපන කටයුතු ශක්තිමත් කළ හැකි බවත්, මෙම වසර අවසන් වන විට සියලු පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීමට සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
වතු පාසල්වල විභාග ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් නොව පාසල් මට්ටමින් අඩු ප්‍රතිඵල පෙන්වන ආයතන හඳුනාගෙන ඒවා සඳහා විශේෂ සැලසුම් සකස් කළ යුතු බවද ඇය අවධාරණය කළාය.