හන්තානයේ වටිනා භූමි කොටසක් වන සංරක්ෂණයට පැවරීමේ සූදානමක්
හන්තාන පරිසර ආරක්ෂණ කලාපයේ පිහිටි ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් කොටසක් පරිසර හිතකාමී කලාපයක් ලෙස නම් කිරීමේ යෝජනාවක් හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශ කළමනාකරණ කමිටුව වෙත ඉදිරිපත් කර තිබේ.
තේ හෝ වෙනත් ආර්ථික භෝග වගා නොකෙරෙන නමුත් ජල මූලාශ්‍රවලින් සමන්විත භූමි ප්‍රදේශයක් මෙසේ නම් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හන්තාන කලාපයේ වතු අධිකාරී දුමින්ද රුවන් කුමාර මහතා සඳහන් කළේ, ජල මූලාශ්‍ර සහ පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි. එමෙන්ම, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාගේ අනුමැතිය යටතේ අක්කර 5කට අධික භූමි ප්‍රමාණයක් මේ සඳහා වෙන් කිරීමට යෝජනා කර ඇති බවද ඔහු පැවසීය.
මෙම භූමි කොටස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වුවහොත්, අනවසර ඉඩම් අත්පත් කර ගැනීම් වැනි ගැටලු වළක්වා ගත හැකි බවද වතු අධිකාරීවරයා පෙන්වා දී ඇත.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වී ඇති අතර, මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ එම්.එම්.ඒ.අයි. ජානක මහතා සහ මහනුවර දිස්ත්‍රික් දිසා වන නිලධාරී සුරංගිකා හේරත් මහත්මිය ඇතුළු පිරිසක් එයට එක්ව සිටියහ.