යුද ගිනි මැද ගැන ජනපති විශේෂ සාකච්ඡාවක - රාජ්‍ය සේවය ඇතුළු ඉන්ධන අර්බුදය වෙනුවෙන් විශේෂ තීරණ රැසක්
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මේ වන විට බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින් රට තුළ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙන්ම ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාක් අද (16) දින පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව වාර්තා වේ.
එයට අදාළ අමාත්‍යවරු සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා. එම අවස්ථාවේදී බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇති බව සඳහන්.
එසේම මෙම සාකච්ඡාවේදී උද්ගතව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත.
ඒ අනුව එම නිවේදනයේ සඳහන් වන්නේ රජයේ කාර්යාල පවත්වා ගෙන යාමේදී අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේද පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි.
එබැවින් රාජ්‍ය සේවය වෙනුවෙන් එක් දිනක නිවාඩුවක් ලබාදීම තුළින්, බලශක්ති පරිභෝජනය සීමා කරමින් සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම අධ්‍යාපන, සෞඛ්‍යය, සංචාරක, ධීවර, කර්මාන්ත, කෘෂිකර්ම, වරාය හා නාවික කටයුතු, ගුවන්තොටුපොළ සේවා සහ ඩිජිටල් සේවා ආදී ක්ෂේත්‍රයන්හි සුවිශේෂත්වය සහ ප්‍රායෝගික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන ආකාරයට එම සේවා පවත්වාගෙන යාමට මේ මොහොතේ ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ද එම සාකච්ඡාවේදී විමසා බැලූ බව වාර්තා වේ.
මේ අතර ප්‍රධාන ක්ෂේත්‍රවල සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය තීරණය කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ එම ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් අද දිනය තුළම වාර්තාවක් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී ඇත.
මෙවැනි තත්ත්වයකදී නිවසේ සිට රාජකාරී කිරීමේ ප්‍රායෝගික හැකියාව පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් තීන්දු තීරණ ගැනීමේ වැදගත්කම අවධානයට ලක් වූ අතර නිලධාරීන් සේවා ස්ථානය වෙත කැඳවීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම ආයතන ප්‍රධානියා වෙත පැවරීමටත්, සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කිරීමටත් යෝජනා කර ඇත.
එමෙන්ම මතුවී ඇති තත්ත්වය හමුවේ කෘෂිකර්ම කටයුතුවලදී ගොවි ජනතාව සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුවූ බව සඳහන්.
එසේම පවතින තත්ත්වය හමුවේ රටේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීමට සියලු දෙනාගේ දායකත්වය සහ කැපවීම අවශ්‍ය බවත්, එහිදී යම් පිරිසකට සහනාධාර ක්‍රම මඟින් පහසුකම් සැපයීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
තවද QR ක්‍රමය හඳුන්වාදීමේ අපේක්ෂාව, දෛනික ඉන්ධන පරිභෝජනය පවතින අභියෝගයන්ට අදාළව කළමනාකරණය කිරීම බවද පවසා ඇත.
අලුත් අවුරුද්දෙන් පස්සේ ලංකාවේ දැවැන්ත අර්බුදයක් - ඉන්ධන නෑ - ලෝකෙම අමාරුවේ දැම්මට බිමල් ලෝක නායකයින්ටත් අමතයි
ඒ ඔස්සේ දෛනිකව ලැබෙන මිණුම් විශ්ලේෂණය කරමින් රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු වන පරිදි ආර්ථික සහ සේවා කටයුතු වෙනුවෙන් ඉන්ධන මුදාහැරීමේ වැදගත්කම අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එමෙන්ම ඉන්ධන සැපයුමේදී QR ක්‍රමය විධිමත් අයුරින් භාවිත කිරීමේ වැදගත්කමත්, ඒ වෙනුවෙන් එක් එක් අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය සියලු දත්ත හැකි කඩිනමින් ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයට ලබාදීමටත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
එබැවින් අදාළ අමාත්‍යාංශ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව QR ක්‍රමය වඩාත් විධිමත් කිරීමටද යෝජනාව ඇත.
එසේම මතුව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය උත්සව තාවකාලිකව නතර කිරීමටත්, රජය මේ සම්බන්ධව ඉදිරියේදී තවදුරටත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පෞද්ගලික අංශය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳවත් මෙහිදී යෝජනා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ ඇතුළත්.