දිවයින පුරා නව ආපනශාලා රැසක් ස්ථාපනයට රජය සූදානම් වෙයි
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබා ගනිමින් දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර එහි පළමු ආදර්ශ ආපන ශාලාව අප්‍රේල් 01 වනදා නාරාහේන්පිටදී විවෘත කිරීමට නියමිතය.
මේ සඳහා හේතු වී ඇත්තේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව ජනතාවට සලසා දීමටයි.
දැනට පවත්වාගෙන යන ආපනශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහනක් මෙහි දෙවන අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (27) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පවත්වා ඇති බව වාර්තා වේ.
ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
එසේම පාරිභෝගික ජනතාවට නිසි සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම පිළිබඳවද වැඩිදුර සාකච්ඡා කර ඇති බව සඳහන් කරයි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල බණ්ඩාර, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී සුගීෂ්වර, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
