පාස්කු ප්‍රහාරය ගැන ගෝඨාභයගෙන් විශේෂ ප්‍රකාශයක්..

Gotabaya Rajapaksa Cardinal Malcolm Ranjith Department of Prisons Sri Lanka
By Aruna Apr 26, 2024 03:10 AM GMT
Aruna

Aruna

Report


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරන ලදී.

හිටපු ජනාධිපති නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කර ඇත.

මෙහිදී කාදිනල් හිමිපාණන්, පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයක් පැවති අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට චෝදනා කිහිපයක් එල්ල කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙන්නේ, තමාට හිතවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවන නිසා ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව තමා නොපැවසූ බව තරයේ ප්‍රකාශ කර සිටින බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ, වැඩිදුරටත් පවසන්නේ සියල්ලන්ම දන්නා පරිදි මුස්ලිම් ප්‍රජාව තමාට ඡන්දය නොදුන් බවයි.

එනිසාවෙන්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මොනයම් හෝ සංවිධානයක තමාට හිතවත් පුද්ගලයින් කිසිසේත්ම සිටිය නොහැකි බවටයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුමේ පිටපතක් කාදිනල් හිමිපාණන්ට ලබා දීම ප්‍රමාද කළ බව මෙන්ම ඉතිරි වෙළුම් ලබා නොදුන් බවට එල්ල වන චෝදනාවටද හිටපු ජනාධිපතිවරයා අදාළ නිවේදනයෙන් ප්‍රතිචාර දක්වා තිබුණි.

ඔහු ප්‍රකාශ කරන්නේ, 2021 වසරේ පෙබරවාරි 1 වැනිදා තමාට ලැබුණු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව 2021 පෙබරවාරි 23 වැනිදා කථානායකවරයාටත්, එම වසරේ මාර්තු 1 වැනිදා එහි පිටපත්, මහ නා හිමිවරුන්ටත්, කාදිනල් හිමිපාණන්ට සහ කතෝලික රදගුරුතුමන්ලාටත් ලබාදීමට පියවර ගත් බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීම, එම විමර්ශන කඩාකප්පල් කිරීම සඳහා උසස් සී.අයි.ඩී. නිලධාරියෙකු සිරගත කිරීමට තමා කටයුතු කළ බවට එල්ල වන චෝදනාවටද හිටපු ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබේ.

2019 වසරේ නොවැම්බර් මාසයේදී එවක පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසම විසින් ඒ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබා දුන් බවත්, ඊට සති කිහිපයකට පසුව නඩුවක විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් එවක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ රන්ජන් රාමනායක සමග කළ දුරකතන සංවාද පිළිබඳ විමර්ශනයක් හේතුවෙන් පොලිස් කොමිසම විසින් ඔහුගේ වැඩ තහනම් කළ බවත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරන ලදී.

 ඉන් අනතුරුව අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ගොතන ලද සාක්ෂි ඉදිරිපත් කිරීමේ චෝදනාවක් මත අදාළ නිලධාරියා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවත්, එම නිසා පාස්කු ප්‍රහාරයේ විමර්ශන කඩාකප්පල් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබාදී, රිමාන්ඩ් භාරයට පත් කළ බවට කාදිනල් හිමිපානන්ට එල්ල කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ලිපියෙන් අවධාරණය කර ඇත්තේ.

එහි දැක්වෙන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීම, අදාළ අධ්‍යක්ෂවරයා යටතේ පැවති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අසමත් වීමක් බවයි.

පාස්කු ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් සිදුකරන ලද්දක් බවත්, ප්‍රහාරයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ බවත් පෙන්වා දෙන ගෝඨාභය රාජපක්ෂ, මෙකී පාර්ශ්ව දෙකේම වගකීම එක්කෝ නොසලකා හැරීමට නැතිනම් ඔවුන්ව ප්‍රකාශිතවම වගකීමෙන් නිදහස් කිරීමට කාදිනල් හිමිපාණන් කටයුතු කරන බවද පෙන්වා දෙයි.

සිය ලිපියෙන් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව නිරන්තරයෙන් චෝදනා එල්ල කරන ආකාරය ජනතාව හොඳින් නිරීක්ෂණය කළ යුතු බව ප්‍රකාශ කරන ලදී.

.....................................................................

MAY YOU LIKE