සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අවදානමක් - පුරප්පාඩු තොගයක් ගොඩ ගැහිලා
සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වර්ෂයෙන් පසුව මේ දක්වා කිසිදු වතාවක පූර්ණ ලෙස සංශෝධනය කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය සේවයම බිඳවැටීමේ ආසන්න තත්ත්වයට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩිව අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ දශක ගණනාවක් පුරා අඩු වියදමින් ඉහළ ඵලදායිතාවයක් පෙන්වමින් ජාත්‍යන්තර ප්‍රසාදයට ලක් වූ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය, වත්මන් පරිපාලනමය හා ප්‍රතිපත්තිමය ගැටලු හමුවේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි.
සාමාන්‍යයෙන් වසර පහකට වරක් සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු සංශෝධනය කළ යුතු වුවද, පසුගිය දශකය තුළ රෝගීන්ගේ සංඛ්‍යාව, ශල්‍යකර්ම සහ පරික්ෂණ ප්‍රමාණය අතිමහත් ලෙස ඉහළ ගොස් ඇත්තේ 2015 වසරේ පැවති පැරණි අනුමත සීමාවන් මත පිහිටිමින් බව GMOA පෙන්වා දෙයි.
මීට අමතරව පසුගිය ආර්ථික අර්බුද සමයේ වෛද්‍යවරුන් දහස් ගණනක් රට හැර යාම ද මෙම තත්ත්වය උග්‍ර වීමට හේතු වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේද පැවතුණද, සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකරන බවත්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසීම්වලට ද සාධනීය පිළිතුරක් ලැබී නොමැති බවත් එම සංගමය සඳහන් කරයි.
එබැවින් වත්මන් රජයේ සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ සාර්ථක කරගැනීමට නම් වහාම සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු සංශෝධනය කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.