ඉදිරියේදී ලංකාවට වතුර පොදක් නැති වෙන දරුණුම කාලගුණ අනතුර මෙන්න
එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය වැළැක්වීමේ සම්මුතිය (UNCCD) අනුව සෑම වසරකම ජුනි 17 වැනිදා සමරනු ලබන “කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය” මෙවරත් විවිධ වැඩසටහන් මාලාවකින් සැමරීමට නියමිතය.
මෙවර එහි තේමාව ලෙස “Rangelands: Recognize. Respect. Restore.” (තෘණ භූමි: හඳුනාගනිමු. ගරු කරමු. ප්‍රතිසංස්කරණය කරමු.) යන්න ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය විසින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම වැඩසටහන් මාලාව යටතේ පාසල් සිසුන් සඳහා පාංශු සංරක්ෂණය සහ තිරසර භූමි කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිත අතර, එම පුහුණු කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
තවද, “තියඩෝරා තෙල්මා තියටර් පදනම” මඟින් ඉදිරිපත් කරන වීදි නාට්‍යයක්ද මෙහිදී වේදිකාගත කිරීමට නියමිත අතර, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා විසින් ප්‍රධාන දේශනයක්ද පැවැත්වීමට නියමිතය. වර්තමානයේ දැඩි අවධානයට ලක්ව ඇති “එල්නිනෝ” (El-Niño) දේශගුණික තත්ත්වය සහ එහි ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ප්‍රීතිකා මාධවී ජයකොඩි මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදු කිරීමටද නියමිතය.