ණය ගෙවා ගන්න බැරි වුණොත් මිනිස්සු මිදුලට ඇවිල්ලා කෑ ගහනවා...පිළිස්සී මියගිය ඉෂාලිනි මවට වු පොරොන්දුව

Hatton burn Dayagama rishad badurdeen J.Ishalini
By Sewvandhi Jul 21, 2021 11:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආර්ථික අපහසුතාව මධ්‍යයේ සිටි තම පවුල බේරාගැනීම සඳහා සිය දියණිය මෙහෙකාර සේවයට යෑමට ඉදිරිපත් වු බව හිටපු අමාත්‍ය හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටිය දී පිළිස්සි මියගිය දැරියගේ මව පවසන්නීය.

ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සිය ආර්ථිකය කඩා වැටීමෙන් ආහාර පවා හිඟ වු බවය. ළමුන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවන ළමයා වන 16 හැවිරිදි ජේ. ඉෂාලිනි පසුගියා දා පිළිස්සී තුවාල ලබා සිටිය දී ජීවිතක්ෂයට පත්විය.

තම දියණියගේ මරණය සම්බන්ධයෙන් හඬා වැළෙපෙමින් මව පවසා සිටියේ, තම දියණියට සියදිවි නසා ගැනීමට තැත් කිරීමකට කිසිදු හේතුවක් නොමැති බවය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඉෂාලිනි ගේ මව,

"මම ණය වුණා ගොඩක්. කොරෝනා කාලේ මහත්තයටත් පුතාටත් වැඩ නැති වුණා. ළමයි ඔක්කෝම පොඩියි. අපි කන්න බොන්නවත් නැතුව ගොඩක් දුක් වුණා. එක ගෙදරකට මම ගොඩක් ණය වුණා. ඒ ණය ගෙවන්න දුව එක්කන් ගිය කෙනාගේ රත්තරන් බඩුවක් තියලා මම රු 30,000ක් අරන් තිබුණා. ඒ මුදල් තව කෙනෙක් ගෙන් ගත්ත නිසා ඒ අය කරදර කරන බව කිව්වට පස්සේ තමයි මම කිව්වේ මට වැඩක් කතා කරලා දෙන්න කොහේ හරි ගෙදරක ගිහිල්ලා මාසෙකින් පඩි අරන් රත්තරන් බඩුව අරන් දෙන්නම් කියලා. මට කතා කරාට පස්සේ අවුරුදු 13 ළමයෙකුත් ඉන්නවා අවුරුදු 2 ළමයෙකුත් ඉන්නවා ඔක්කෝම ඉන්නේ ගෑණු ළමයි කියලා. අම්මා ගියොත් ළමයින්ට පව් නේ දුවලා දෙන්නගෙන් කවුරු හරි යවන්න කියලා. ඒ වෙලාවේ ලොකු දුව පුංචිලාගේ ගෙදර හිටියේ. දුවව යවන්න මම කැමති වුණේ නෑ. එයා කැමැත්තෙන් අම්මා ණය ගෙවා ගන්න බැරි වුණොත් අපේ මිදුලට ඇවිල්ලා මිනිස්සු කෑ ගහනවා නේ ඒ නිසා මම යන්නම් වැඩට, මම ගිහින් මේ ණය ටික බේරන්නනම් අයියට විතරක් අමාරුයි කියලා තමයි ගියේ."

ඉෂාලිනි ගේ මිය යාම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර තිබේ. ඒ අතරට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් අයත්ය.

මිය ගිය දැරිය හැටන් ඩයගම ප්‍රදේශයේ පදිංචියට යාමට පෙර පදිංචිව සිටි අවිස්සාවෙල්ල පුවක්පිටිය කිරිවන්දල ප්‍රෙද්ශයට ඊයේ (20) දිනයේ දී එම විමර්ශන නිලධාරීන් ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, දැරිය ඉගෙනුම ලැබු කිරිවන්දල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන්, නියෝජ්‍ය විදුහල්පතිවරයාගෙන් හා තවත් දෙදෙනෙකුගෙන් එහිදි විමර්ශන නිලධාරින් ප්‍රකාශ සටහන් කර ගත් බවය.

විමර්ශන නිලධාරීන් හැටන් ඩයගම ප්‍රදේශයට ගොස් අද දැරියගේ මවගෙන් හා සහෝදරයාගෙන් නැවත ප්‍රකාශ සටහන් කර ගත්තේය. ඒ අතර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ තවත් සේවකයෙකුගේ ජංගම දුරකථනයක් බොරැල්ල පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගේ දුරකථන සංවාද විශ්ලේෂණ වාර්තා වහාම බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙස අධිකරණය නියෝග කළ අතර දැරිය ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව ද පසුව හෙළිවිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now