ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් දැඩි අවධානයක්
ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් පාරිභෝගික ජනතාව සිදුවන පිඩාව අයුරින් කටයුතු කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී ඇත.
එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
මෙරට ගෘහස්ථ ගෑස් බෙදාහරින පෞද්ගලික සමාගමක් විසින් ගෑස් සිලින්ඩරයක මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් මෙලෙස කාරක සභාව හමුවට කැඳවා තිබුණි.
ගෘහස්ථ ගෑස් මිල තීරණය කිරීමේ බලයක් එම අධිකාරියට නොමැති බව අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර ඇත.
ඔහු සඳහන් කර ඇත්තේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් අදාළ පෞද්ගලික සමාගම සමඟ සාකච්ඡා කර මිල අඩු කිරීමට අවශ්‍ය පියවර ගත් බවයි.
තවද අදාළ සමාගමට වෙළෙඳපොළ තුළ හිමි කොටස අඩු බැවින් වැඩි මිලකට ගෑස් මිලදී ගැනීමට සිදුවන බවත්, ඒ අනුව මිලදී ගැනීමේ පිරිවැයට සාපේක්ෂව ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සිදු වූ බවත් එම සමාගම පැහැදිලි කර ඇති බව සභාපතිවරයා කාරක සභාවට දැනුම් දී තිබේ.
ඒවගේම ඉදිරියේදී ගෘහස්ථ ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කරන ලෙසත්, මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව තවදුරටත් පීඩාවට පත් නොවන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාරක සභාව මෙහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අවධාරණය කර ඇත.