සිව්දෙනෙකු එල්ලා මරන්න මම අත්සන් කළා - මෛත්‍රීගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් [VIDEO]

Report

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් සිව්දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තම ජනාධිපති ධුර කාලයේදී අත්සන් තැබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, එම තීරණයට එවකට අග්‍රාමාත්‍යවරයා මෙන්ම විපක්ෂ නායකවරයා ද දැඩි විරෝධයක් පළ කළ බව ඔහු සඳහන් කළේය.

තමන් ඊට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තැබීමෙන් පසුව පසුදා පාර්ලිමේන්තුවේදී එම තීරණයට විරෝධය පළ කර තිබූ බවත්, එමගින් ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරන රටක් බවට පත්වනු ඇති බවත්, විදේශිකයන් මෙරටට නොපැමිණෙන තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඔවුන් පෙන්වා දුන් බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

එම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එවකට අධිකරණ අමාත්‍යවරිය ලෙස කටයුතු කළ තලතා අතුකෝරල මහත්මිය ද මේ සම්බන්ධයෙන් තමන්ගෙන් විමසූ බවයි.

මාතලේ පොලීසිය කළඹමින් හදිසි මරණයක් - පොලිසියේ සිටි සැකකරුවෙකු මරුට

මාතලේ පොලීසිය කළඹමින් හදිසි මරණයක් - පොලිසියේ සිටි සැකකරුවෙකු මරුට

එහිදී ඇය පාර්ශ්ව දෙකෙන්ම විරෝධතා එල්ල වී ඇති බැවින් ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳව විමසා සිටි බවත්, ඊට ප්‍රතිචාර දක්වමින් ගැසට් නිවේදනයේ සඳහන් දිනයට පෙර අදාළ සිව්දෙනා එල්ලා මැරීම අවසන් කරන ලෙස තමන් ප්‍රකාශ කළ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඊට දින දෙකකට පසුව තමන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම හේතුවෙන් එම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නතර වූ බව ද ඔහු පැවසීය.

එම ක්‍රියාවලිය පිටුපස සිටි පාර්ශ්වයන් කවුරුන්ද යන්න පිළිබඳව රටේ ජනතාවට පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර, දූෂණයෙන් හා වංචාවෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගොඩනැගීම සඳහා විධායක ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීම අත්‍යවශ්‍ය බව විශ්වාස කළ බැවින් තම පාලන සමයේදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, එම සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් පසු එය පසුකාලීනව තමන්ටම අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කළ බවත්, ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ පූර්ණ සහායක් නොමැතිව තනි ජනාධිපතිවරයෙකු ලෙස වසර කිහිපයක් රට පාලනය කිරීමට සිදුවූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වසර 13කට පසු යුක්තිය ඉටු වෙයි - මහාධිකරණයෙන් දුන් ඇග කිළිපොලායන දඩුවම

වසර 13කට පසු යුක්තිය ඉටු වෙයි - මහාධිකරණයෙන් දුන් ඇග කිළිපොලායන දඩුවම