රට පුරා ගෑස් සිලින්ඩර් බෙදාහැරීම යළි නතර කෙරේ.

Sri Lanka Gas Litro Lasantha alagiyawanna
By Aruna Dec 20, 2021 07:14 AM GMT
Aruna

Aruna

Report

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටවන්නැයි පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට යළි දැනුම් දී තිබෙනවා.

අලුතින් වෙළඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර්වල ගෑස් සංයුතිය මෙන්ම ගෑස් කාන්දුවකදී ගඳ වහනය වීම සඳහා යොදා ගන්නන එතිල් ම‘කැප්ටාන් ප්‍රමාණය අඩංගු ස්ටිකරයක් සිලින්ඩරයේ ඇලවීම සිදුකරනු ලැබුවා.

එම ස්ටිකරය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ගෑස් සිලින්ඩර්වල එය ඇලවීම සිදුකර ඇත්තේ.

එහෙත් එම ස්ටිකරය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයෙන් අවසර ලබාගෙන ගෑස් සිලින්ඩර්වල අලවා වෙළඳපලට නිකුත් කරන ලෙස පාරිභෝගික අධිකාරිය ඊයේ රාත්‍රියේ ලිට්‍රෝ සමාගමට දැනුම් දී තිබෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අවසර ලැබෙන තෙක් ගෑස් සිලින්ඩර් වෙළෙඳපළට නිකුත් කිරීම තාවකාලිකව නතරකරන ලෙසයි ලිට්‍රෝ සමාගමට පාරිභෝගික අධිකාරිය විසින් නියෝග කර ඇත්තේ.

එම නියෝගය ඊමේල් පණිවිඩයක් මගින් පාරිභෝගික අධිකාරිය, ලිට්‍රෝ සමාගම වෙත ඊයේ රාත්‍රියේ එවා ඇති බවයි එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශයෙකු සදහන් කළේ.

ලිට්‍රෝ සමාගම විසින් මෙම ස්ටිකරය ගෑස් සිලින්ඩර්වල අලවා වෙළෙඳ පොළට නිකුත් කිරීම සිදු කිරීම ආරම්භ කළේ ඉකුත් 18 වනදා සිටයි.

ඉන් පසුව ඊයේ පෙරවරුවේ ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පැමිණ ගෑස් වෙළඳ පොලට නිකුත් කිරීම නවත්වන ලෙස ලිට්‍රෝ සමාගමට දැනුම් දී තිබුණා.

එහෙත් ඉන් ටික වේලාවකට පසු යළි පාරිභෝගික අධිකාරිය විසින් ලිට්‍රෝ සමාගමට දැනුම් දී ඇත්තේ ගෑස් වෙළෙඳ පොළට නිකුත් කිරීම යළි ආරම්භ කරන ලෙසයි.

එසේ තිබියදීයි යළිත් ගෑස් පිරවූ සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීම නතර කරන ලෙස පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් ලිට්‍රෝ සමාගමට දැනුම් දී තිබෙනවා.

ඒ වන විටත් ගෑස් පිරවූ සිලින්ඩර් පටවා ගැනීම සඳහා කෙරවළපිටියට පැමිණ තිබූ ලොරි රථ ද ආපසු හරවා යැවීමට ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කටයුතු කර තිබුණා.

මෙවන් පසුබිමක් තුළ තවදුරටත් ගෑස් හිඟයක් වෙළඳපොලේ පවතිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now